Monday, May 15, 2006

හඳනළ මහතාගේ ප්‍රංශ කැමරාව

ජාත්‍යන්තර කීර්තියට පත් ඡායාරූප ශිල්පී හඳනළ මහතාගේ තවත් ප්‍රදර්ශණයක් කොළඹ කලාභවනේ පැවැත්වෙන බව අසා මමත් මඳක් කිට්ටු කලෙමි. ප්‍රදර්ශණයට ඇතුල්වෙන තැනම සවිකර තිබූ දැවැන්ත ඡායාරූපයක් දැක මම එකවරම ගල්ගැසී සිටියෙමි. අඩි 10*10 ප්‍රමාණයේ විශාලත්වයට රාමුකර තිබුනේ අසූචි ගොඩක ඡායාරූපයකි. මඳක් විමතියට පත්වූවත් හඳනළ මහතා ගැවසෙන ඉසව් ගැන සාමාන්‍ය අවබෝධයක් ඇති නිසා මම ගානක‍ට නොගෙන ඇතුලට රිංගා ගතිමි. ඇතුලත වූයේ මහා ම ගාලගෝට්ටියකි. ආචාර්‍යවරු, මහාචාර්‍යවරු, සංගීතාචාර්‍යවරු, ඡායාරූපාචාර්‍යවරු, සංස්කෘතිකාචාර්‍යවරු, නූතනවාදාචාර්‍යවරු ආදී සියලුම ආකාරයේ චාර්‍යවරු එකිනෙකා පරයා වාදකරමින් සිටියහ. කිසිමාකාරයේ විශේසඥ්ඥ දැනුමක් නොමැති නිසා ත් වාදයකට නොපැටලී ඡායාරූප නැරඹීම අපහසු වූ නිසාත් වාදවලට සවන්දෙන්න පටන්ගතිමි.


පලමුවෙන්ම මට හමුවූයේ ප්‍රදර්ශණයේ පිලිගැනීමේ නිලධාරියාය. ඔහු ගත්කටටම අර ඡායාරූපය ගැන මාගේ අදහස් විමසීය. මම අදසක් පල නොකොට ෂේප් වෙන්න හදද්දී ඔහු ම අදහස් පලකරන්නට විය. "මේ ඡායාරූපය ඉතා දුර්ලභ ගණයේ ඡායාරූපයක්. ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශන ගානකටම ඉදිරිපත් කරලා සම්මාන පවා ලැබිලා තියනවා මේකට. නමුත් ලංකාවේ මේක ප්‍රදර්ශණය කරන ප්‍රථම අවශ්ථාව මේකයි. ඉතින් ජාත්‍යන්තර තලයේ ඡායාරූපයක් කාලෙකට පස්සේ බලාගන්න ලැබීමත් එක අතකින් ලොකු භාග්‍යයක්. මම පොඩ්ඩක් විස්තර කරන්නමි ඔහු මේ ඡායාරූපය ගත්තේ කොහොමද කියලා. හඳනළ මහත්තයා දවසක් හොඳ ඡායාරූප කිහිපයක් ගන්න හිතේ තියාගෙන පේරාදෙනිය මල්වත්තේ රොබරෝසියා මල් පිපිච්ච පාරක් දිගේ ඇවිදගෙන යනවා. ඔහුට පේනවා මල් ගස් අතර ඉඳගෙන ඉන්න ආදරවන්‍තයෝ, තනකොල උඩට මල් වැටිලා නිකං පාට පාට ලෝකයක් වගේ. එතකොට තමයි හඳනළ මහත්තයාගේ විමසුම් ඇස ක්‍රියාත්මක වෙන්නේ. ඔහුට සියුම් සද්දයක් ඇහෙනවා හරියට මී මැස්සන්ගේ වගේ. මී මැස්සන්ගේ සද්දේ ඔස්සේ යන ඔහුට හම්බවෙන්නේ නිලමැස්සන් පිරිචිච අසූචි ගොඩක්. හඳනල මහත්තයත් හොය හොයා හිටියේ ඒ වගේ කිසිම ඡායාරූප ශිල්පියෙකුට විශය නොවුන අලුත්ම ඉසව්වක් තමයි. එතුමා වහාම දෙකට නැමිලා අසූචි ගොඩේ ඡායාරූපයක් ගන්නවා. වැදගත්ම දේ තමයි අඩුගානේ ප්‍රංශ ජායාරූප ශිල්පියෙක් වත් මේ වගේ නැවුම් විශය ක්ෂේත්‍රයක් ඔස්සේ තමාගේ කැමරාව මෙතෙක් මෙහෙයවූයේ නැති එක. එක් ප්‍රසිද්ධ ප්‍රංශ විචාරකයෙක් කියනවා මෙම ඡායාරූපයෙන් අවුරුදු දහස් ගනනක් තිස්සේ අප්‍රසන්න දෙයක් ලෙස සැලකූ අසූචි වලට නවතම අර්ථකථනයක් ලැබුනා කියලා." මා ගේ වාසනාවක‍ටදෝ ප්‍රධාන දොරෙන් තවත් පුද්ගලයෙක් පැමිණි අතර පිළිගැනීමේ නිළධාරියා මා අතහැර ඔහු වෙත ගොස් මට දුන් දේශනාවම දෙන්නට විය.

එන්න එන්නම ඡායාරූප ප්‍රදර්ශනයේ වටිනාකම මට අවබෝධ විය. සිකුරිටිකාරයා අර වගේ ටෝකක් දුන්නා නම් ශාලාව පිරිලා ඉන්න උගත්තු මොන වගේ ටෝක්ස් දෙයිදැයි මගේ සිතේ කුතුහලයක් හටගති. කට්ට පෙනුමක් තියන තට්ට මහත්තයෙක් කීපදෙනෙක් වටකරගෙන ඡායාරූපයට නොසෑහෙන්න බනිනවා ඇසුනි. "මේ යකාට පේරාදෙනිය මල්වත්තේ ගන්න එකක් නැතුවද මේ අසූචි ගොඩක් ෆොටෝ ගහලා හැමෝටම පේන්න මෙතන ගහලා තියෙන්නේ. එහෙම එකක් දැක්කම උදැල්ලක් අරන් වහලා දාන්නේ නැතුව ෆොටෝ ගහලා අපිටත් ගෙනල්ලා පෙන්නනවා. ප්‍රදර්ශනේ බලන්න ආපු අපිටත් කරපු අපහාසයක් මේක. මේවා බලන්න අපි කලා භවනට එන්න ඕනද? අහවල් කලාත්මක බාවයක් ද මේ ඡායාරූපයේ තියෙන්නේ?"

එතකොටම පශ්චාත් නූතනවාදී විලාසිතාවට කොණ්ඩය සකස්කරගත් පොරක් මෙහෙම ටෝකක් දැමීය. "මිස්ටර් මේක ටිකක් පැහැදිලි කරගන්න බලන්න. හැමෝම හැමෝටම පාවිච්චි වෙන නවීන ලෝකයේ මේක එච්චර දෙයක් නෙමෙයි. කැමරාව ට අසූචි ගොඩ පාවිච්චි උනා අසූචි වලට කැමරාව පාවිච්චි උනා. ෆො‍ටෝ එකට කැමරාව පාවිච්චි උනා, අපිට ෆොටෝ එක පාවිච්චි උනා. ෆොටෝ එකට අසූචි පාවිචිචි උනා, අසූච් වලට අපි පාවිච්චි උනා. ඉතාමත් සරලයි නේද?

මහත්තයා මේ ඡායාරූපය ගන්න කැමරාව අරන් දීලා තියෙන්නේ ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය. මහත්තයා මේ ඡායාරූපයට අපහාස කරනවා කියන්නේ ප්‍රංශ රජයටම කරන අපහාසයක්.

එතකොටම ටිකක් පස්සට වෙන්න හිටපු නිවට පෙනුමක් තිබ්බ පොරක් උඩපැනපැන ‍ටෝක්ස් දෙන්න පටන්ගත්තේය. "අසූචි ඇඟේ තියනකොට හොඳනම් එලියට දැම්මාම නරක වෙන්නේ කොහොමද? මම නම් කියන්නේ කෑවත් වරදක් නෑ. කොහොමත් බඩේ තිබුන දේවල්මනේ. ආපහු බඩටම යනඑක විතරයි නේ." මට නම් ඔහුගේ කතාව ඇල්ලුවේ නැතිවුනාට පැත්තක හිටපු ප්‍රංශ පෙනුමක් තිබූ සුද්දෙකු‍ටනම් හොඳටම හිතට අල්ලලා ගියබව පේන්න තිබුනි. පොර ගාවට කිට්ටු කරලා ඔයාට ඡායාරූපකරනයට එන්න එහෙම අදහසක් නැද්දැයි සිංහලෙන්ම අහනවා මට පස්සේ දක්නට ලැබුනි. අසූචි කන්න ම ඕන නෑ අනිත් අයට කවන්න පුලුවන්නම් ඒ ඇති කියලා කියනවාද යන්තමට ඇසුනි.