Tuesday, July 11, 2006

තෙල්, ලේ සහ කඳුලු

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ධූරයේ අන්තිම මොහොතේ දී 'ලංකාවේ තෙල් නිධි ඇත' යන ප්‍රකාෂය ඇය කරන්නේ බලලා මල්ලෙන් එලියට පැන්නා වගේ යන පැරණි පිරුල සිහිකරවමිනි. එයින් නොනැවතුනු ඇය ඛනිජ තෙල් සම්බන්ධ ආයතන ගනනාවක් ස්ථාපිත කර ගිවිසුම් ගනනාවක් අත්සන් කිරීමට ද කටයුතු කලාය. මෙතෙක් කලක් සඟවා සිටි මෙම රහස එලියට ඒමට හේතුව කුමක්ද?


තෙල් ගිවිසුම් අත්සන් කිරීමට ඒ හා සම්බන්ධ ආයතන තිබිය යුතු අතර එවැනි ආයතන ඇතිකිරීමට පෙර තෙල් තිබෙන බව හෙලිකල යුතුය. අවසන් මොහොතේ හෝ තෙල් ගිවිසුම් ගසා රටට වැඩක් කිරීමේ පරම පවිත්‍ර චේතනාවක හිටපු ජනාධිපතිනිය තුල නොතිබුනානම් (එසේ තිබුනේ යැයි කිසිවෙකුට සිතේ නම් මෙම ලිපිය මෙතැනින් එහාට කියවීමෙන් පලක් නොවේ) එම ගිවිසුම් සඳහා ඇයට යම්කිසි බලපැමක් හෝ එම ගිවිසුම් වලින් ඇයට යම්කිසි ලාභයක් තිබුනා විය යුතුය. නිසැකවම ඇයට යම්කිසි උපකාරයක් හෝ බලපෑමක් කර මෙම ගිවිසුම් අත්සන්කරවාගැනීමට ක්‍රියාකල පාර්ශවට මෙම ගිවිසුම් අතිශයින් ම වැදගත් හා හදිසි එවා බව පැහැදිලිය. ඇගෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුවහොත් මෙම ගිවිසුම් ගසාගැනීමට අපහසු බවත් ඒ නිසා ඒ ආකාරයේ හදිසි ක්‍රියාමාර්ගයකට පෙලඹුන බවත් පැහැදිලිය.

චන්ද්‍රකා විසින් අත්සන් කල හා අත්සන් කිරීමට උත්සාහ කරන ලද ඛනිජ තෙල් සම්බන්ධ සියලුම ගිවිසුම් පිටුපස නෝර්වේ රාජ්‍යය හා නොර්වේ සමාගම් සිටී. කෙසේවුවත් චන්ද්‍රිකා‍ගේ හෝ නොර්වේ මහත්වරුන්ගේ හදිසියට හෝ අඥ්ඥානකමට පින් සිදුවන්නට නොර්වේ සාම දූතයන්ගේ නිරුවත සාක්ෂි සහිතව ජනතාවට තේරුම් ගැනීමට හැකිවිය. වර්තමානයේ සැබෑවටම නොර්වේ උදව් කරන සාමයක් නැත. ඒ බව දැන් පක්ෂ බේදයකින් තොරව සියලු ජනතාව දන්නා අතර ජනතාව එය දන්නා බව නෝර්වේ ද දනී. දැන් ඇත්තේ අලජ්ජිතව බලහත්කාරයෙන් අපේ රටේ ප්‍රශ්ණවලට මැදිහත්වී සිටීමකි. ‍සැබවින්ම මෙහිදී අපට බලපෑම් එල්ල කරන්නේ නෝර්වේ නොවේ. නෝර්වේ යනු බටහිර මංකොල්ලකරුවන්ගේ එක් ඒජන්ත කෙනෙක් පමණි. හුදකලා රටක් ලෙස ගතහොත් ලංකාවෙන් හතරෙන් එකක පමන ජනතාවක් වෙසෙන, 27000 ක් තරම් වූ කුඩා හමුදාවක් ඇති, මාලුකාරයන්ගෙන් පැවතෙන ජාතියකට කිසිසේත් ලංකාව බියවිය යුතු නැත.

කෙසේ හෝ ලංකාවේ තෙල් ඉල්ලම ගිලගැනීමට බටහිර රටවලට හැකි වුවහොත් එයින් වැඩිපුර කුටිටියක් ඩැහැගැනීමට අවසානය වනතුරු ඕනෑම බැනුමක් අහගෙන වටේ කැරකි කැරකී සිටීමට නෝර්වේ සූදානම් බව අපි වටහාගතයුතුය. ඉරාකයේ, සුඩානයේ, ටිමෝරයේ තෙල් දඩයම ක්‍රියාත්මක වුනේ එක් එක් ස්වරූපයන්ගෙන් හා එක් එක් ආකාරයේ උපක්‍රම භාවිත කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ ලංකාව සඳහා වූ උපක්‍රම සම්පූර්‍ණයෙන්ම නැවත සංස්කරනට කිරීමට බටහිර කොල්ලකාරී රටවල් ක්‍රියාකම්න් සිටින බව බව ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්ණය සම්බන්ධයෙන් දැන් දැන් සිදුවන ක්‍රියාකරාකම් වලින් පැහැදිලිය. උන්ගේ අරමුණ පැහැදිලිය. උන්ට තෙල් ද අපට ලේ හෝ කඳුලු හෝ ඒ දෙකම ලැබෙන අවසානයක් කරා එම අරමුණු ක්‍රියාත්මකය. සුඩානයේ ආකාරයේ ප්‍රතිචාරයකින් කඳුලු උරුමවනු ඇති අතර ඉරාකයේ ආකාරයේ ප්‍රතිචාරයකින් ලේ සහ කඳුලු යන දෙකම උදාකර දෙනු ඇත.

අප කල යුත්තේ කුමක්ද? අද ලෝක දේශපාලනය යනු ලෝක ව්‍යාප්ත වෘත්තීය මංකොල්ලකරුවන් ප්‍රමුඛ කොටගත් මංකොල්ලකාරී ගෝත්‍ර කීපයක් සම්පත් සහ වෙලඳපොල සඳහා දඩ‍යමේ යෙදීම සහ අන්තවාදී මත පදනම් කරගත් අමන ත්‍රස්තවාදී ව්‍යාපාරවල(කොටි ත්‍රස්තවාදීන් මෙම ගනයට අයත් නොවේ. ඔවුන් ජාත්‍යන්තර මංකොල්ලකරුවන්ගේ ආයුධයක් පමණි) අසාර්ථක ප්‍රතිවිරෝධයනුත්ය. රාජ්‍යයන් ලෙස මෙම ක්‍රමයට සාර්ථක ප්‍රතිවිරෝධයක් දැක්විය හැක්කේ උතුරු කොරියාව ආකාරයේ භාවිතයන් තුලින් පමණි. නමුත් බොහෝ රටවලට (ඉන්දියාවට පවා) කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් ප්‍රමාණයකට තමන්ගේ ර‍ටවල අවශ්‍යතාවයන් යටපත් කොට මංකොල්ලකරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා හැඩගැසීමට සිදුවී තිබේ.

ඉහත සඳහන් කරන ලද පසුබිම තුල චන්ද්‍රිකා, රනිල්, ප්‍රභාකරන් යනු සැලකියයුතු මාතෘකා නොවේ. මහින්ද චින්තනය අද කරලියේ රඟදැක්වුව ද එයද තාවකාලික වෙළඳ නාමයක් පමණක් බව හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන න්‍යාය හා ගණිත අභ්‍යුහනය ආශ්‍රයෙන් සාධනය කල හැක. නමුත් ජාතිය හමුවේ පවතින අවදානම හා තර්ජනයට අනුව පිලිතුර නිර්‍මාණය කල යුත්තේ සමස්ත ජාතිය විසිනි. මහින්ද චින්තනය බලයට ගෙනා ජාතික ව්‍යාපාරයේ කාර්යභාරය එයින් නොනැවතී තවත් ඉදිරියට යා යුතු බවත්, ජාතිය හමුවේ ඇති අභියෝග ජයගැනීමට වසර දහස්ගනනක ජාතියක් වශයෙන් ලත් පරිණතභාවය යොදාගත යුතු බවත් අපි අවබෝධ කරගත යුතුය. එනිසා සාම වෙ‍ළෙන්ඳන්ගේ අරුමෝසම් විසඳුම් ද පරගැතියන්ගේ නිවට විසඳුම් ද පරාජය කර උන්ට කඳුලු අපට තෙල් ලැබෙන ගමනකට යාම සඳහා ප්‍රමාණවත් ජාතික කතිකාවක් ඇරඹිය යුතුව ඇත.