Saturday, July 19, 2008

තෙල් මිල වැඩිවෙන්නේ ඇයි

තෙල් මිල අද රටේ ප්‍රධානතම මාතෘකාවලින් එකක්. තෙල් මිල වැඩිවන්නේ මොකද යන එකට හරිහමං හේතුවක් කියලාදෙන්න කවුරු කවුරු කවුරුත් වලිකෑවත් වැඩිදෙනෙක් කරන්නේ එක්කෝ කොලේ වහලා ගහන එක නැත්තං කියන්නන් වාලේ කියන එක. රනිල් මහත්තයා, රටතොට දන්න මිනිහා වුනාට ලෝක වෙලඳපොලේ තෙල් මිල වැඩිකරන තැනක් තියනව නම් එතෙන්ට ගිහිල්ලා හෝන් ගහන්නේ නැතිව කොලඹ හෝන් ගහන එකෙන්ම පේන්නේ අපේ මිනිස්සු ගොනාට අන්දන එක කොච්චර ලේසිද කියලා හොඳ අවබෝධයක් එතුමට ඇති බවයි. ඒගොල්ලො කියන්නේ ආණ්ඩුවේ බදු අඩුකරන්නලු. රටේ ආනයන වියදමෙන් සියයට විස්සකටත් වඩා තෙල්වලට යනවලු. එතකොට ආනයන බදු අයින් කලොත් රටේ ආනයන බදු වලින් සියයට විස්සක් නැතිවෙන බවත් එතකොට එම බදුමුදල් වැයකරලා කරන යුද්ධය, අධ්‍යාපනය, සෞඛ්‍ය, හා අනෙකුත් සුබසාධනත් සෑහෙන තරමකින් අඩුවෙන බවත් මේ උන්දැලා දැනගෙන හිටියට කියන්නෑ. විදුලි ඒකකයක් හදන්න යන වියදමට වඩා අඩුවෙන් විකුනන බව අපි කවුරුත් දන්නවා. මෙතුමන්ලාගේ නියාය ඒකටත් දැම්මොත් විදුලි බිල තුන් ගුනයක් වැඩි කරන්න ඕන මොකද තෙල්වලින් හම්බවෙන බදු වගේ දේවලින් තමයි ඒවගේ පාඩු මකාගන්නේ. රටේ ආර්තිකේ එක එකට සම්බන්දයි කියලා අපි දන්නවා කියලා මෙතුමන්ලා දන්නේ නැති හැඩයි.


බංදු මහත්තයා වගේ ආර්තිකේ ගැන විසේස ඥාණයක් නැතත් සරල විශ්ලේෂණයක් කරන්න මං පොඩි උත්සාහක් ගත්තා. මුලින්ම මං විකිපීඩියාවට ගිහිල්ලා තෙල් නිපදවන රටවල් මොනවද කියලා බැලුවා. මෙන්න වෙබ් කොලේ (http://en.wikipedia.org/wiki/Image:Chart-of-Oil-Trading-Nation_inverse.GIF) . සවුදිය වගේ රටවල් කොච්චර තෙල් නිපදවූවත් එයින් ලැබෙන ආදායමෙන් අතිමහත් කොටසක් යන්නේ බහුජාතික සමාගම්වලට බව නොරහසක්. තෙල් අයිති රටවලට ලැබෙන කොටසෙනුත් බහුතරයක් ඇමෙරිකානු හෝ යුරෝපීය බැංකු වල තමයි තැන්පත් වෙන්නේ.ඉතින් ලෝකයේ තෙල් වෙළඳාම පාලනය කරන අතලොස්සක් වූ සමාගම්වල හිත්පිත් නැති සූරාකෑම තමයි තෙල් මිල ඉහල යාමට ප්‍රධානතම හේතුව.


තෙල් මිල ඉහලයන හැම මොහොතකම බටහිර රටවල් හේතු වශයෙන් දක්වන්නේ සමහර ර‍ටවල්වල තිබෙන යුද්ධ වැනි තත්වයන්. තවදුරටත් ඔපෙක් වැනි සංවිධාන තෙල් නිෂ්පාදනය සීමා කිරීම ගැනත් දොස් නැගෙනවා. අද ඉරානය වැනි තෙල් නිපදවන රටවල් එකක් දෙකක් ඇරෙන්න ඔපෙක් සංවිධානයට අයිති රටවල පාලකයෝ ඇමෙරිකාවේ රූකඩ සුරතලුන් බව කවුරුත් දන්නවා. ඔපෙක් සංවිධානයේ තීරණ විදියට එලියට ‍එන්නෙත් බහුජාතික සමාගම් අතලොස්සක පාලකයන්ගේ තීරණම තමයි.


ඉතින් මෙම බහුජාතික තෙල් බූවල්ලාට මේ තරම් හදිස්සියේ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට තෙල් මිල ඉහල නංවන්න ඕන වුනේ මොකද. ඒකට ප්‍රධානම හේතුව තමයි චීනය හා ඉන්දියාව වැනි රටවල් ඉතා සිග්‍ර සංවර්ධනය කරා යන ගමන තුල තමන්ගේ ආර්ථික එකාධිකාරය නැතිවෙන නිසා අවසාන තත්පරයේදී පුලුවන් උපරිමයෙන් ඒ ගමන සඳහා බාදාකිරීමට ඉ‍ටා ගැනීම. අවම තරමින් චීනය හා ඉන්දියාවේ සංවර්ධනය සඳහා ඔවුන් වැයකලයුත් මුදලවත් වැඩිකිරීම තමයි මෙහි අරමුණ. සංවර්ධනය නොවී හිටපන් කිව්වට ඇහුවේ නෑ, කියනදේ අහන්නේ නැත්තම් මෙකත් කාලා වරෙං කියලා තමයි මේ කියන්නේ. නමුත් මේක නිසා වැඩිපුරම පීඩා විඳින්නේ ලෝකයේ දුප්පත් ම රටවල්.


අන්තිමට මං තේරුං ගත්තේ තෙල් කියන්නේ ලෝකෙටම පොදු මුදල් ඒකකයක් වගේ දෙයක් බවත් ඒකේ අයිතිකාරයෝ බහුජාතික සමාගම් අතලොස්සක් බවත් හිතුමතේට එය පාලනය කිරීමෙන් ඇමෙරිකන් ඩොලරය ඇතුලු සියලු මුදල් පාලනය කරන්නත් එමගින් මුලු ලෝකයේම ආර්ථිකයත්, එමගින් දේශපාලනයත්, එමගින් සංස්කෘතියත් පාලනය කිරීමට හැකියාව අද ඔවුන් ලබාගෙන ඇතිබවත්, ඒ එක්කම චීනය හා ඉන්දියාව තමන්ගේ සීග්‍ර සංවර්ධනයේ වියදම අනියමින් වුවත් යම් පමණකට දුප්පත් රටවලට පටවා ඇතිබවත්.


පැත්ත ගියත් ඇත්ත කියන ඇත්තට බය නැති,

ඇතුතුඩුව.