Saturday, July 19, 2008

තෙල් මිල වැඩිවෙන්නේ ඇයි

තෙල් මිල අද රටේ ප්‍රධානතම මාතෘකාවලින් එකක්. තෙල් මිල වැඩිවන්නේ මොකද යන එකට හරිහමං හේතුවක් කියලාදෙන්න කවුරු කවුරු කවුරුත් වලිකෑවත් වැඩිදෙනෙක් කරන්නේ එක්කෝ කොලේ වහලා ගහන එක නැත්තං කියන්නන් වාලේ කියන එක. රනිල් මහත්තයා, රටතොට දන්න මිනිහා වුනාට ලෝක වෙලඳපොලේ තෙල් මිල වැඩිකරන තැනක් තියනව නම් එතෙන්ට ගිහිල්ලා හෝන් ගහන්නේ නැතිව කොලඹ හෝන් ගහන එකෙන්ම පේන්නේ අපේ මිනිස්සු ගොනාට අන්දන එක කොච්චර ලේසිද කියලා හොඳ අවබෝධයක් එතුමට ඇති බවයි. ඒගොල්ලො කියන්නේ ආණ්ඩුවේ බදු අඩුකරන්නලු. රටේ ආනයන වියදමෙන් සියයට විස්සකටත් වඩා තෙල්වලට යනවලු. එතකොට ආනයන බදු අයින් කලොත් රටේ ආනයන බදු වලින් සියයට විස්සක් නැතිවෙන බවත් එතකොට එම බදුමුදල් වැයකරලා කරන යුද්ධය, අධ්‍යාපනය, සෞඛ්‍ය, හා අනෙකුත් සුබසාධනත් සෑහෙන තරමකින් අඩුවෙන බවත් මේ උන්දැලා දැනගෙන හිටියට කියන්නෑ. විදුලි ඒකකයක් හදන්න යන වියදමට වඩා අඩුවෙන් විකුනන බව අපි කවුරුත් දන්නවා. මෙතුමන්ලාගේ නියාය ඒකටත් දැම්මොත් විදුලි බිල තුන් ගුනයක් වැඩි කරන්න ඕන මොකද තෙල්වලින් හම්බවෙන බදු වගේ දේවලින් තමයි ඒවගේ පාඩු මකාගන්නේ. රටේ ආර්තිකේ එක එකට සම්බන්දයි කියලා අපි දන්නවා කියලා මෙතුමන්ලා දන්නේ නැති හැඩයි.


බංදු මහත්තයා වගේ ආර්තිකේ ගැන විසේස ඥාණයක් නැතත් සරල විශ්ලේෂණයක් කරන්න මං පොඩි උත්සාහක් ගත්තා. මුලින්ම මං විකිපීඩියාවට ගිහිල්ලා තෙල් නිපදවන රටවල් මොනවද කියලා බැලුවා. මෙන්න වෙබ් කොලේ (http://en.wikipedia.org/wiki/Image:Chart-of-Oil-Trading-Nation_inverse.GIF) . සවුදිය වගේ රටවල් කොච්චර තෙල් නිපදවූවත් එයින් ලැබෙන ආදායමෙන් අතිමහත් කොටසක් යන්නේ බහුජාතික සමාගම්වලට බව නොරහසක්. තෙල් අයිති රටවලට ලැබෙන කොටසෙනුත් බහුතරයක් ඇමෙරිකානු හෝ යුරෝපීය බැංකු වල තමයි තැන්පත් වෙන්නේ.ඉතින් ලෝකයේ තෙල් වෙළඳාම පාලනය කරන අතලොස්සක් වූ සමාගම්වල හිත්පිත් නැති සූරාකෑම තමයි තෙල් මිල ඉහල යාමට ප්‍රධානතම හේතුව.


තෙල් මිල ඉහලයන හැම මොහොතකම බටහිර රටවල් හේතු වශයෙන් දක්වන්නේ සමහර ර‍ටවල්වල තිබෙන යුද්ධ වැනි තත්වයන්. තවදුරටත් ඔපෙක් වැනි සංවිධාන තෙල් නිෂ්පාදනය සීමා කිරීම ගැනත් දොස් නැගෙනවා. අද ඉරානය වැනි තෙල් නිපදවන රටවල් එකක් දෙකක් ඇරෙන්න ඔපෙක් සංවිධානයට අයිති රටවල පාලකයෝ ඇමෙරිකාවේ රූකඩ සුරතලුන් බව කවුරුත් දන්නවා. ඔපෙක් සංවිධානයේ තීරණ විදියට එලියට ‍එන්නෙත් බහුජාතික සමාගම් අතලොස්සක පාලකයන්ගේ තීරණම තමයි.


ඉතින් මෙම බහුජාතික තෙල් බූවල්ලාට මේ තරම් හදිස්සියේ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට තෙල් මිල ඉහල නංවන්න ඕන වුනේ මොකද. ඒකට ප්‍රධානම හේතුව තමයි චීනය හා ඉන්දියාව වැනි රටවල් ඉතා සිග්‍ර සංවර්ධනය කරා යන ගමන තුල තමන්ගේ ආර්ථික එකාධිකාරය නැතිවෙන නිසා අවසාන තත්පරයේදී පුලුවන් උපරිමයෙන් ඒ ගමන සඳහා බාදාකිරීමට ඉ‍ටා ගැනීම. අවම තරමින් චීනය හා ඉන්දියාවේ සංවර්ධනය සඳහා ඔවුන් වැයකලයුත් මුදලවත් වැඩිකිරීම තමයි මෙහි අරමුණ. සංවර්ධනය නොවී හිටපන් කිව්වට ඇහුවේ නෑ, කියනදේ අහන්නේ නැත්තම් මෙකත් කාලා වරෙං කියලා තමයි මේ කියන්නේ. නමුත් මේක නිසා වැඩිපුරම පීඩා විඳින්නේ ලෝකයේ දුප්පත් ම රටවල්.


අන්තිමට මං තේරුං ගත්තේ තෙල් කියන්නේ ලෝකෙටම පොදු මුදල් ඒකකයක් වගේ දෙයක් බවත් ඒකේ අයිතිකාරයෝ බහුජාතික සමාගම් අතලොස්සක් බවත් හිතුමතේට එය පාලනය කිරීමෙන් ඇමෙරිකන් ඩොලරය ඇතුලු සියලු මුදල් පාලනය කරන්නත් එමගින් මුලු ලෝකයේම ආර්ථිකයත්, එමගින් දේශපාලනයත්, එමගින් සංස්කෘතියත් පාලනය කිරීමට හැකියාව අද ඔවුන් ලබාගෙන ඇතිබවත්, ඒ එක්කම චීනය හා ඉන්දියාව තමන්ගේ සීග්‍ර සංවර්ධනයේ වියදම අනියමින් වුවත් යම් පමණකට දුප්පත් රටවලට පටවා ඇතිබවත්.


පැත්ත ගියත් ඇත්ත කියන ඇත්තට බය නැති,

ඇතුතුඩුව.

Monday, March 12, 2007

අධිරාජ්‍ය ත්‍රස්තවාදයට සාක්ෂි සැපයීම

ත්‍රස්තවාදයෙන් දශක කිහිපයක් බැටකෑ අපි අද තීරණාත්මකව ත්‍රස්තවාදය පරාජය කිරීම අබියස සිටිමු. නමුත් ඊට වඩා සැම අතින්ම දරුණු හා බලවත් අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් වීමේ අවදානකටද ලක්ව සිටිමු. රටක ජනතාව සූරාකෑම සඳහාත්, තම ඒකාධිපති බලය පවත්වාගෙන යාම සඳහාත් පාලකයන් ජනතාව මත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නේ යම්සේද, එසේම අන්රටවල් සූරාකෑමත් තම ඒකාධිකාරය පවත්වාගෙනයාමත් අරමුණු කරගෙන අධිරාජ්‍ය ත්‍රස්තවාදය එයට වඩා විශාල පරිමාණයෙන් දුප්පත් රටවල් මත ක්‍රියාත්මක වෙයි. අසූ ගනන්වල අගභාගයේදී සෝවියට් දේශයේ බිඳවැටීමත් සමඟම අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ තනි නියමුවා බවට පත්වීමට ඇමෙරිකාවට හැකිවිය. අන් ඕනෑම දෙයකට මෙන්ම ත්‍රස්තවාදයටද තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම සඳහා යම් න්‍යායක් අවශ්‍ය වේ. කොටි ත්‍රස්තවාදය මෙහිදී දඩමීමා කරගෙන ඇත්තේ දෙමළ ජනතාවට අහිමී ඇතැයි කියන ඊනියා අයිතිවාසිකම් කිහිපයකි. සාමාන්‍ය ත්‍රස්තවාදයක් එවැනි සරල හේතු දැක්වීමකින් සාධාරනීකරණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් ම නොවේ. ත්‍රස්තවාදයට තම කටයුතු කිසිදු හේතුවකින් තොරව නිර්ලජ්ජිතව කරගෙන යාමට වුවද හැකිය. නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය තරමක් ශීලාචාර වන අතර ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. කොටි ත්‍රස්තවාදීන් ගම්වලට පැන අහිංසක ජනතාව කැතිගා දැමුවද, අසූ ගනන්වල රාජ්‍ය ත්‍රස්තවාදය තම ක්‍රියාකාරකම් නාඳුනන තුවක්කුකාරයාගේ ගිනුමට බැරකිරීමට තරම් කෛරාටික විය. ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙහිදී රාජ්‍ය ත්‍රස්තවාදයටත් වඩා අතිශය සියුම් උපක්‍රම භාවිතා කරයි. ඉරාකයට සමූල භාතක අවි චෝදනාව පටවා ආක්‍රමණය කර අවසානයේ දිනකට සිය ගනනින් සිදුවන අපරාධ වල වගකීම ඉරාක ජනතාව ‍මතම පටවනුයේ ඒවා මුස්ලිම් කල්ලි අතර ගැටුම් ලෙස අර්ථ දක්වමිනි.


අධිරාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමේදී යම් යම් පියවරයන් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය. ප්‍රථමයෙන් තම අධිරාජ්‍යයේ කොටස්කරුවන් හෝ සේවකයන් නොවන රටවල් හඳුනාගනී. දෙවනුව, කුමන හෝ ගැටළුවක් එම රට තුල නිර්‍මාණය කිරීමට අධාර හා අනුබල දෙයි. එසේ නොකල හැකිවුවහොත් කිසිදු හේතුවක් නොමැතිව සම්භාදක පනවා පරාජය බාරගනී. කියුබාව මීට හොඳ නිදසුනකි. නමුත් ලංකාව තුල අදාල ගැටළුව නිර්‍මාණය කිරීමට අධිරාජ්‍ය ත්‍රස්තවාදය සමත්විය. එසේ යම් ගැටළුවක් නිර්‍මාණය කලහැකි වුවහොත් තෙවනුව, එයට මැදහත්කරුවන් හෝ උපදේශකයන් ලෙස පැමිණ තම අරමුණ ඉටුකරගැනීමට යොමුවෙයි. මෙය සුඩානයේදී සාර්ථක වුවද ලංකාවේදී අසාර්ථක වූයේ ජාතික බලවේගයන් තමා ඉදිරිපිට තිබූ අභියෝගය නිසි පරිදි තේරුම් ගැනීමට සමත් වීම නිසාය. මෙබඳු අසාර්ථකවීමක් හමුවේ අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ ඊළඟ පියවර වනුයේ එක්සත් ජාතීන් වශයෙන් හඳුන්වන අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ බලල් අත මඟින් තම ත්‍රස්තවාදී අරමුණ කරා ළඟාවීමයි. මේ සඳහා යම්කිසි අකාරයේ හේතු දැක්වීමක් අවශ්‍යය ය. එනිසා අද අධිරාජ්‍ය ත්‍රස්තවාදයට ලංකාව ගොදුරුකරගැනීම සඳහා සාක්ෂි අවශ්‍ය වී තිබේ. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි සොයාගැනීම තුල ඔවුන්ගේ ඉදිරි වැඩපිලිවෙල තීරණය වේ. ඉරාකයට කාලයක සිට ඇස ගසාගෙන සිටියත් ගල්ෆ් යුද්ධය වැනි තීරණාත්මක සාක්ෂියක් එනතුරු ඔවුහු සාක්ෂි ගොනුකරගෙන සිටියහ. ඇෆ්ගනිස්ථානය සඳහා තීරණාත්මක සාක්ෂිය වූයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයයි. යමිකිසි ආකාරයකින් සාධාරණීකරණක කලහැකි බොරු සාක්ෂියක් සොයාගත හැකිනම් අධිරාජ්‍ය ත්‍රස්තවාදය ඉතාමත් දරුණු ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට ඇ‍ෆ්ගනිස්ථානය හොඳම නිදසුනකි. නමුත් එවන් තීරණාත්මක සාක්ෂියක් ලංකාවෙන් සොයාගත නොහැකි නිසා එබඳු මැදිහත්වීමක් කිරීමට අවකාශයක් නැත. එනිසා යම් යම් සුළු සාක්ෂි කීපයක් මත එක්සත් ජාතීන් හරහා අධිරාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම නවතම සැලසුමයි. මෙම ආකාරයට අධිරාජ්‍යවාදයේ ගොදුරු බවට පත්වූ රටවකට හොඳම උදාහරණය නම් නැගෙනහිර ටිමෝරයයි. එම සැලසුමේ කොටසක් ලෙස ඔවුන් තමන්ගේ රූකඩ ලවා රජයට මානව හිම්කම් චෝදනා එල්ල කිරීම දැනටම අරඹා ඇත.

අද විජාතික බලවේගවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයයි. මෙය මවාපෑමක් බව සියලු ජනතාව දන්නා නිසා සිරස ඇතුලු විජාතික ජනමාධ්‍ය වල අතුරුදහන්වීම් පිළිබඳ ප්‍රචාරයන් මහජනතාවට කන්දොස්කිරියාවක් විනා කිසිසේත්ම ප්‍රවෘත්ති නම් නොවේ. ජනතාව එම ප්‍රවෘත්ති නරඹා, අනේ අවාසනාවට ඇත්ත කතාවක් නේද කියා චැනලය මාරු කරති. නමුත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය දිගින් දිගටම අතුරුදහන්වීම් ගැන හුඹස් බියක් ජනතාවට ඇතිකිරීමට වලිකති. මෙහිදී මෙම ජනමාධ්‍යවල කාර්‍යභාරය වනුයේ ලංකාවේ ජනතාව‍ට ප්‍රවෘත්ති සැපයීමට නොව කොන්ත්‍රාත් ක්‍රමයට විජාතිකයින්ට සාක්ෂි සැපයීමයි. රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇත්නම් එය දැනිය යුත්තේ ජනතාවටයි. අද ජනතාවට දැනෙන රාජ්‍ය ත්‍රස්තවාදයක් නැත. නමුත් ත්‍රස්තවාදීන්ට නම් බොහෝදේ දැනෙමින් පවතින බව පෙනේ. අසූව දශකයේ අගභාගයේ දිනවල හයට කලින් රෑට කා නාඳුනන තුවක්කුකාරයාට බියේ නොනිදා රැය පහන්කල අයුරු ජනතාවට තාම මතක තිබේ. පාසල් යනවිට පාරේ දැවෙන මල සිරුරු දෙස නොබලන ලෙස දෙමාපියන් ඉතා තදින් අවවාද කලසැටි මගේ මතකයේ හොඳින් සටහන් වී තිබේ. පසුගිය වසර තුල සිදුවූ සිද්ධීන්ගෙන් සමන්විත සිරසේ දිනපතා පෙන්වන මිනී පෙරහැරේ සඳහන් ගානට වඩා වැඩි ගනනක් එකවර හන්දිවල පුලුස්සා දමා තිබූ යුගයක් තිබී බව ජනතාවට මතක තිබේ. එදා උගුරට එනකම් මිනී කෑ මස් වැද්දෝ අද මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගත්විට, කැලෑවකින් මල සිරුරක් සොයාගත්විට උගුර ලේ රහ වනතුරු කෑ ගසති. ඉහත මාතෘකාව ගැන තමා කරන සෑම වචනයක් වචනයක් පාසාම ලංකාවේ ජනතාවට දැනෙන්නේ ලේ ගඳ බව සමහර නායකතුමන්ලාට නොතේරේයැයි සිතිය නොහැක. නමුත් බටහිර හාම්පුතුන් නූල් අදින විට අතපය පමනක් නොව දිව ආදියද නටන නිසා ඔහුටද කරකියාගතහැකි දෙයක් නොමැත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුල සටනේ වාසිය තිබූයේ අධිරාජ්‍ය ත්‍රස්තවාදයටයි. එම අවදියේ සාම ගිවිසුම් ගැසීම‍ටත්, නිරීක්ෂකයන් මෙරට රැඳවීමටත් ඔවුනට හැකිවිය. අද සියල්ල අහෝසි වී සටනේ වාසිය අපට අත්වී තිබේ. නමුත් සටන දිනා ඇති බවට කිසිවෙකු උපකල්පනය කලහොත් එය අපි අපවම රවටාගැනීමකි. සටනේ වාසිය අද රැඳී ඇත්තේ තීරණාත්මකව සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට සමත්වීම තුලයි. ඔවුන් අපමත බලෙන් පටවන්නට හදන මතවාදය එසේ ලෙහෙසියෙන් සිල්ලර ලෙස ප්‍රතික්ෂේප කල හැක්කක් නොවේ. මෙහිදී වඩා වැදගත් වනුයේ අනතුර වටහාගැනීමත් එය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත්, ඉන්පසු ජනතාවගේ සහාය ඇතුව චෝදනා දැඩිලෙස ප්‍රතික්ෂේප කිරීමත් විනා දෙපැත්ත ෂේප් කරමින් කල්මැරීම නොවේ.

සියල්ලන්ට පසුව අවදිවීම

රෝහණ විජේවීර මහතා තම සගයන්ට කීවේ සියල්ලන්ට පෙර අවදිවන ලෙස යි. දෙවරක් ම සියල්ලන්ට ම පෙර අවදිවන්නට යෑම නිසා දෙවතාවේදී ම දහස් ගනනකට සියල්ලන්ටම පෙර නිදාගැනීමට සිදුවිය. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් සවිඤ්ඤාණික ලෙස දේශපාලන වටාපිටාව තේරුම් ගනිමින්, ඉතාමත් සක්‍රීය ලෙස තමන්ගේ භූමිකාව රඟදක්වමින් සිටී. එයට හේතුව වනුයේ රෝහණ විජේවීර මහතාට කියාදීමට හැකියාවක් නොවූ සියල්ලන්ට ම පෙර අවදිවන්නේ කෙසේද යන්න සිංහල ජාතික ව්‍යාපාරය තුලින් ජනතා විමුක්ති පෙරමුණ හා අනෙකුත් සක්‍රිය දේශපාලන බලවේගවලට කියාදීමයි. (දේශපාලන බලවේග යයි කියාගන්නා දේශපාවාදෙන බලවේග වලට මෙම න්‍යාය අදාල නොවේ. මක්නිසාද යත් ඔවුන්ගේ දේශපාලන භාවිතාව කිසිසේත්ම රටතුල මතුවන මතවාදයන්ට හා බලවේගවලට අනුව සකස් වන්නක් නොවීමයි.)

අද ලංකාව ඉතා දරුණු දේශපාලනමය හා ආර්ථිකමය අභියෝග රාශියකට මුහුනපා ඇත. දේශපාලනමය වශයෙන් ගත්කල, රට බෙදා වෙන්කිරීමටත්, ඉතා දියාරු ව්‍යවස්ථාවක් තුල රටේ ස්වෛරීභාවය දුර්‍වල කිරීමටත් ඒතුලින් බටහිරට අධිරාජ්‍යවාදී මංකොල්ලකාරයින් සඳහා අරාජික පාරාදීසයක් නිර්‍මාණය කිරීමටත් ඉතා ශක්තිමත් පෙරමුණක් ලෙස සියලු විජාතික බලවේග ක්‍රියාකරමින් සිටී. අද ජාතික ව්‍යාපාරය ඉතා නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ දේශපාලන බලවේග දෙකක් වෙයි. එකක් නම් ජාතික බලවේගයයි. අනෙක නම් විජාතික අවජාතක සංකලනයයි. විජාතික හා අවජාතක සංකලනය යනු කුමක්ද යන්නත්, එහි ව්‍යුහයත්, එහි උපක්‍රමයනුත් ඉක්මනින් හා නිවැරදි ව වටහාගැනීම තුල එය පැරදවීමේ ශක්‍යතාවය රඳා පවතී. ආර්ථික වශයෙන් ගත්කල, සියලු අංශයන් තුල විදේශ සමාගම් තමන්ගේ බලඅධිකාරය තහවරුකරගනිමින් රාජ්‍ය අංශයේ හා දේශිය පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා සේවාවන් දෙවන පෙලට තල්ලුකරමින් රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේග බවට පත්වෙම්න් සිටී. අවසානයේ රාජ්‍ය අංශය හුදෙක් සුබසාධක සේවා සැපයුම් කරුවෙක් බවට පත්වනු ඇති අතර දේශීය සමාගම් බහුජාතික සමාගම් තුලට උරාගනු ඇත.

දේශීය ආර්ථිකයක් හා ආර්ථික නිදහස ගැන කතාකරන බලවේග තවදුරටත් දිරාගිය මාක්ස්වාදී මතවාදවල වහලුන්බවට පත්වී සිටීම තුල ඔවුන් නව ආර්ථික ආක්‍රමණවල ස්වරූපය හා ඒවාගේ අරමුණු වටහාගැනීමට අසමත්වී සිටී. පෞද්ගලීකරණය වලක්වාගැනීම හා සුබසාධක සේවා දියුණුකිරීම යන සංකල්ප දශක ගනනාවත් තිස්සේ පට්ටා ගැසීම විනා ආර්ථික නිදහස උදෙසා නව සංකල්ප බිහිකරීමටත් ඒවා දියුණුකිරීමටත් දිගින් දිගටම අසමත් වුවහොත් අවසානයේ ජනතාවට ඉතිරිවනුයේ දිරාගිය රාජ්‍ය සංස්ථාවක සාඩම්බර හිමිකරුවන් වීම පමණි. උදාහරණයක් ලෙස රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයෙන් ගලවාගැනීමට අප අපමණ වෙහෙසක් දැරුවත්, මෑතක සිට ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන ජාත්‍යන්තර බැංකු සමඟ තරඟ කල හැක්කේ කෙසේද කියාවත්, ඒවායෙන් ඉදිරියේදී දේශීය ආර්ථිකයට කරණු ලබන බලපෑම ගැන අධ්‍යනය කිරීමට හෝ ඒ සඳහා ගතහැකි සාර්ථක ප්‍රතිකියාවන් කුමක් ද යන්න ගැන සැලසුම් කිරීමටත් කිසිවෙක් ඉදිරිපත් වී නැත. අද HSBC ප්‍රමුඛ ජාත්‍යන්තර බැංකු ඉතා සිග්‍රයෙන් හා තරඟකාරී ලෙස සාමාන්‍ය ජනතාව අතරට සමීපවෙම්න් සිටී. ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණයෙන් බේරාගැනීමට අප බලවත් සටනක් ගෙනගිය ද අපට අමතක වූ‍ දෙයක් නම් සියලු ජංගම දුරකථන සමාගම් පෞද්ගලික සමාගම් බවත් ඒවා ජනතාව මත අධික බරක් පටවමින් අධික ලාභ උපයන බවත් ය. සූරාකන්නා ප්‍රථමයෙන් අවදිවන බවත් අප සැමදා ඔවුන්ට පසුව අවදි වී නිදිගැට කඩමින් පරන සූත්‍රයන් ම වමාරාකන බවටත් මෙය කදිම උදාහරණයකි. සංසන්දනය කිරීමට රාජ්‍ය විකල්පයක් නොමැතිවීමත්, ප්‍රථම ජංගම දුරකථනය ම ‍‍හඳුන්වා දුනනේ එම සමාගම් නිසාත් ෂෙල් ගෑස් සමාගම සම්බන්ධයෙන් කලා සේ අඩාපාලි කීමට ජනතාව නොපෙලඹුනේ ඉහත සූරාකෑම ගැන ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති වූ බැවිනි. මොබ්ටෙල් වැනි සමාගම්වල යම්කිසි රාජ්‍ය අයිතියක් ඇතද, ඔවුන් පවා මුනිවත රකිමින් තම අයකිරීම් එලෙසම පවත්වාගෙන යන්නේ යම් යම් බලපෑම් නිසා බව ද සමහරු කියති. කෙසේවූව ද අද ලංකාව ඉතා ඉහල දුරකථන බිලක් අයකරන රටවල් කිහිපය අතරින් එකකි. ලංකා විදුලිබල සංස්ථාව පෞද්ගලීකරණයෙන් ගලවාගැනිමට වෘත්තීය සම්ති හා අනෙකුත් දේශපාලන බලවේගයන් ක්‍රියාකරගෙන යාම පැසසිය යුත්තකි. නමුත් ඉතා මෑතකදී අනුරාධපුරය හා පොලොන්නරුව දක්වාම ඉන්දියාවේ සිට විදුලිබල සැපයුමක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් කෙරිණි. ප්‍රථම අදියර ලෙස එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුවද, ඉන්පසු එය තවදුරටත් පුළුල් කෙරෙනු ඇත. ඉන්දියාව අධිරාජ්‍යවාදයේ කොටස්කරුවෙකු වූයේ ඉතා මෑතකදීය. එය ස්ථිර ව සනාථ කලේ ඇමෙරිකාව හා ඉන්දියාව අතර අත්සන් කෙරුණු න්‍යෂ්ට්ක ගිවිසුමයි. මෙය හදිස්සියේ සිදුවූවක් නොවන අතර එම කොටස් ගනුදෙනුව වසර ගනනාවක් තිස්සේ සැලසුම් කෙරුනක් වියයුතුය. නමුත් කලඑලි රැඟුමට පෙර අපට එය වටහාගත නොහැකි වූයේ තවමත් අපි පසුව අවදිවන්නන් වීම නිසාය. කෙසේවූවත් ඉන්දියාවේ මෙම විදුලිබල ආක්‍රමණය විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම හා සමාන ප්‍රථිඵල ගෙනදෙන බව අප අදම වටහාගත යුතුය. ඉන්දියාව අප හඳුනාගෙන සිටියේ අපගේ මිතුරෙකු ලෙසයි. නමුත් දැන් දැන් ඉන්දියාවේ නව උවමනාවන් තුල ඔවුන් අප තලාපෙලා දැමීමට සූදානම් වනු දැකිය හැකිය. සන්ටෙල් සමාගම ටාටා සමාගම විසින් මිලට ගැනීමත්, ඉන්දියානු සමාගම් ජංගම දුරකථන ක්ෂේත්‍රයට පිවිසීමත්, ජපන් වාහන පරයා ඉන්දියන වාහන ලංකා වෙළඳපොල ආක්‍රමණය කරමින් සිටීමත්, ඉන්දියානු ආර්ථික ආක්‍රමණයේ පියවරවල් වේ. ඉන්දියාව බැරිනම් පාකිස්තානයෙන් හෝ චීනයෙන් උදව් ගනිමු යැයි අද සමහරු පවසති. රෑ වැටුන වලේ දවල් නො‍වැටෙන ලෙසත්, කවරෙක් කවරෙකුට සැබැවින්ම හිතවත් වේද? යන සංස්කෘත කියමනත් මෙහිදී සිහිපත් කරනු වටී. චීනය මෑතදී හම්බන්තොට වරාය සෑදීටමට උදව් කිරීමට ඉදිරිපත් විය. එම ගිවිසුම් ගැන සියල්ල නොදැන සිටියත් චීනය පවා මේ සැරසෙන්නේ දාන පාරමිතාව පිරීමට නොවන බව අප වටහාගත යුතුය. හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් අනතුරුව එහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චීනය කුමන වගකීමක් හා අයිතිවාසිකමක් දරයි ද යන්න ගැන තවමත් හරිහමන් තොරතුරක් නැත. මෑතකදී මාලදිවයිනේ යුධ කඳවුරක් ඉදිකිරීමට චීනය සාකච්ඡා කල බව මෙහිදී සිහිපත් කල යුතුය.

මේ ආකාර‍යෙන් බලන විට අපි මරණ තුනක් මැද පැණිකමින් සිටින බව පැහැදිලි වේ. කල යුත්තේ කුමක්ද?

සියල්ලන්ට ම පෙර අවදිවෙමු!

Friday, February 02, 2007

නිදහස

මගේ දේශය, මගේ ජාතිය, මගේ ආගම,

මට ලබාදුන් ත්‍යාගයයි.

චන්ඩ මාරුතයේ නොසෙල්වෙන

චින්තනය නිවහල්

(නන්දා මාලනී මහත්මීයගේ ගීතයකිනි)


නිදහස විවිධාකාරය; ආර්ථික නිදහස, දේශපාලන නිදහස, ආදී වශයෙනි. හතලිස් අටේ අප ලැබුයේ දේශපාලන නිදහස පමණක් බවත්, ආර්ථික වහල්භාවය තුල දිනෙන් දින අප සිරවෙමන් සිටින බවත් ප්‍රකට සත්‍යයකි. නමුත් නන්දා මාලනී මහත්මියගේ ඉහත ගීතයෙහි අවධාරනය කරන චින්තනයේ නිදහස ඉහත සියලු නිදහස අභිබවා සිටී. ආක්‍රමණික‍යා ප්‍රථමයෙන් දේශපාලන නිදහස උදුරාගනී, දෙවෙනුව ආර්ථික නිදහසත් ඉක්බිති අන් සියලු ආකාරයේ නිදහසත් උදුරාගනී. නමුත් චින්තන නිදහස උදුරාගැනීම එතරම් ලෙහෙසි නැත. විශේෂයෙන් ම ඉතා සවිමත් සංස්කෘතික අනන්‍යතාවයක් හා අතිශයින් සවිමත් චින්තනයකට උරුමකම් කියන සිංහලයාගේ චින්තන නිදහස උදුරාගැනීම අවශ්‍යනම් ඒ සඳහා ඉතා අධික මිලක් ගෙවීමට සිදුවනු නියතය. චින්තන නිදහසෙහි ඇති ශක්තිය අද කවරදාටත් වඩා බටහිරයන් තේරුම් ගනිම්න් සිටිති. සිල්ලර ක්‍රම වලින් අපගේ චින්තන නිදහස උදුරාගැනීමට නොහැකි වූ තැන ඒ සඳහා ඉහත සඳහන් අයුරින් අධික මිලක් ගෙවීමට අද ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව සූදානම් වනු දැකිය හැකිය. අද අපට සාමතෙල් බෙදන ජපනා ඉතා ඉහල මිලකට සියලු නිදහස නැතිකරගත් ජාතියකි. ලක්ෂ ගනනක ජනතාවගේ රුධිරය තුලින් ජපානය යුධමය, දේශපාලනමය, ආර්ථිකමය හා චින්තනමය වහල්භාවය තුල බැඳගැනීමට බටහිරට හැකිවිය. ජපනාගේ නිදහසට එවැනි මිලක් නියමවූයේ ජපන් ජාතිකයන් ද ඉතා ඉහල සංස්කෘතියකට හා චින්තනයකට උරුමකම් කී නිසාවෙනි. අප මෙන් උසස් චින්තනයක් නොමැති වූ අප්‍රිකානු, ආසියානු, හා ඇමෙරිකානු ජාතීන් අධිරාජ්‍යවාදීන් හමුයවේ ඉතා සිල්ලර ගනුදෙනු තුලින් තම චින්තනමය නිදහස අහිමිකරගෙන ඇත. අද පවා ජපානය තුල කඳවුරු බැඳ සිටින ඇමෙරිකානු හමුදා නිසා ජපනා අහවල් ඉටිගෙඩියක් බුක්ති විඳිනා බැවින් ඔවුන් මෙරටට ද අන්තර්ජාතික හමුදාවන් ගොඩබැස්සවීමට කතා කරති. එනිසා කොන්ද කැඩී ඇති ජපන් ජාතිය තුලින් අපට ගතහැකි පාඩම නම් අපේ ජාතියේ කොන්ද නොකඩා තබාගතහැක්කේ කෙසේද යන්න මිස සුපිරි ආර්ථික දියුණුවක් ලඟාකරගන්නේ කෙසේද යන්න නොවේ. උතුරේ යුද්ධයේදී අනතුරට ලක්වන සාමාන්‍ය ජනතාව ගැන කිඹුල් කඳුල් හෙලන ජපනාට ‍ඇමෙරිකාව හිරෝෂීමා හා නාගසාකි හිදී සිතාමතාම පරමාණු බෝම්බ හෙලූයේ සාමාන්‍ය අහිංසක ජනතාව මතට බව අමතක වී ඇත. එසේ අමතක වීමට හේතුව දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිරයන් විසින් ජපන් ජාතියේ කොන්ද ප්ලාස්ටික් වලින් ප්‍රතිස්ථාපනය කිරීමයි.

චින්තනය යන වචනය කරලියට පැමිණියේ ජාතික චින්තන මතවාදයේ නැගීමත් සමඟිනි. මහින්ද චින්තනය මතින් එය ජනප්‍රිය දේශපාලන ප්‍රවාහයට ඇද දමනු ලැබිණි. එනිසා අද සමාජය චින්තනය නමින් අනන්‍යවූ දෙයක් තමන්ට ඇතිබවත්, එහි වටිනාකමත් ක්‍රමක්‍රමයෙන් තේරුම්ගනිමින් සිටිති. තමන්ට යමක් තිබෙත්දීත් එන නොදන්නේ නම් අන්‍යයන් එය සොරාගෙනයනු විනා මුදලට ගැනීමට වෙහෙස නොවේ. නමුත් තමන්සතු දෙයෙහි අගය දන්නේ නම් අන්‍යයන් එයට මිලක් නියම කරනු ඇත. චින්තනයට මිලක් නියමකල හැක්කේ ඊනියා සංවර්‍ධන ආධාර වලින්වත්, සම්බාධක වලින්වත් ‍නොව අවියෙන් බව බටහිරයන් හොඳින් දන්නා කරුණකි. ලෝකය පුරා නිවහල් චින්තනයකට උරුමකම් කියන ජාතීන්ගේ චින්තනය කනපිටහැරවීමට බටහිරයන් සැලසුම් සහගතව ක්‍රියාකිරීම ඇරඹුවේ පසුගිය සියවසේ අග භාගයේදීය. ලෝකය පුරා තමන්ගේ කොන්ත්‍රාත්කාර පාලක පන්තීන් වලට එම කොන්ත්‍රාත්තුව පැවරූ බටහිරයන් අද වෙනවිට ජයග්‍රහණ මෙන්ම පරාජයන් බොහොමයක්ද ලබා ඇත. බටහිරයන්ට තේරුම්ගතහැකි චින්තනයන් සහිත සියලු ප්‍රතිපක්ෂ බලවේග තමන්ගේ බලයට නතුකරගැනීමට ඔවුනට හැකිවිය. නමුත් ඔවුන්ට තේරුම්ගැනීමට නොහැකි වූ චින්තනයන් හමුවේ ඔවුන් ලැබුයේ පරාජයයි. ජේ. ආර්. ජයවර්‍ධන මහතාගේ ඊනියා ධර්මිෂ්ඨ සමාජය තුලින් ලංකාවේ සංස්කෘතිය විවිධාකාර වෙනස්කම්වලට භාජනය කලත් චින්තනයට අතවත් තැබීමට ඔවුන්ට නොහැකි විය. එයට හේතුව චින්තනය යනු අඳින්නේ, කන්නේ, බොන්නේ, අහන්නේ, බලන්නේ, මොනවාද යනු නොවන බැවිනි. මේ පරාජය හමුවේ බටහිරයන්ගේ ඊළඟ උපායමාර්‍ගයන් ඉතා විශාල වශයෙන් වෙනස් විය හැකි අතර ජය පරාජය තීරණය කරනු ලබන්නේ එම උපායයන් කෙතරම් ඉක්මනින් අප වටහාගන්නේ ද යන්න මතයි.

බටහිර ආර්ථික සිද්ධාන්ත තුලින් අපට කිසිදා ආර්ථික නිදහසක්වත් ආර්ථික සංවර්‍ධනයක්වත් ළඟාකරගත නොහැක. එනිසා ආර්ථික සංවර්‍ධනය සඳහා කලයුතු පලමු කාර්‍යය නම් බටහිර ආර්ථික සිද්ධාන්ත මතවාදී වශයෙන් ප්‍රතික්ශේප කිරීමයි. (එසේ කලහොත් අප අනුගමනය කරන්නේ කුමන ආර්ථික සිද්ධාන්තදැයි අහවල් එක පවා සිද්ධාන්තවලට අනුව කරනා බුග්දිමතුන් ප්‍රශ්ණ කල හැකිය. එනිසා එබඳු ප්‍රශ්ණ වලට පිලිතුරු දීමට තරම් බුග්දියක් මා තුල නැති බව සඳහන් කල යුතුය. නමුත් බටහිර ආර්ථික විද්‍යාව ගැන උසස් පෙල මට්ටමේ දැනුමක් පමණක් ඇතිව, එහි කායීය ලෝකයේ ඇති සකලවිධ සම්පත් දියුණු රටවලට පොම්පකිරීම බව මා හට තේරුම්ගත හැකිවිය.) චින්තන නිදහස තවදුරටත් තබාගැනීමට අප අනුගමනය කලයුත්තේ ප්‍රථමයෙන් බටහිර චින්තනය ප්‍රතික්ෂේප කිරීමයි. අප බටහිර දේශපාලනයට යටවූවත්, බටහිර ආර්ථිකයේ සිරකායන් බවට පත්වූවත්, බටහිර සංස්කෘතිය යම්තාක්දුර‍ට කරපින්නාගත්තත්, බටහිර චින්තනය කිසිදා වැළඳගත්තේ නැත. එසේනම් බටහිර චින්තනය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? එය කලහැක්කේ බටහිර චින්තනය මත පදනම් වූ මතවාද ඉවතලීම හා ඒවාට මුහුනදිය හැකි ශක්තිමත් මතවාදයන් බිහිකරගැනීම තුලිනි.

උදාහරණයක් ලෙස ඊනියා මානව හිමිකම් සංකල්පය ගනිමු. බටහිර මානව හිමිකම් සංකල්පය වලංගුවන්නේ ඊලාම් යුද්ධයෙන් මියයන සාමාන්‍ය වැසියන් ස්වල්ප දෙනෙකුට විනා ඉරාක යුද්ධයෙන් මියගිය හා මියයමින් සිටින ලක්ෂ සංඛ්‍යාත ජනයා‍ට නොවේ. ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර ඇමෙරිකාව පැවසුයේ සදාම් හුසේන් මහතාගේ දැඩි පාලනය හමුවේ දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය වන බවයි. නමුත් ඇමෙරිකානු පාලනය හමුවේ කෙනෙකුගේ මානව හිම්කම් උල්ලංඝනය වීමට පෙර ඔහු මරාදමන නිසා මානව හිම්කම් උල්ලංඝනය නොවේ. ලංකාවේ මානව හිමිකම් සඳහා වෙනමම අමාත්‍යංශයක් ඇතිකිරීම එක් අතකින් මානව හිම්කම් කියන සංකල්පය පිලිගැනීමක් මෙන්ම රටතුල මානව හිම්කම් උල්ලංඝනය වන බව ද පිලිගැනීමකි (ඇමෙරිකාවේ මානව හිමිකම් සඳහා වෙනමම ඇමතියෙක් නැත). නමුත් එය තවත් අතකින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජයේ කැපවීමක් ඇත යන්න ද පෙන්වා දෙයි. නමුත් තවත් පියවරක් ඉදිරියට තබමින් අපට ගැලපෙන අයුරින් හා වාසිදායක අයුරින් මානව හිමිකම් යන සංකල්පය යලි අර්ථදැක්වීමත් මානව හිමිකම් සම්බන්ධ කාරනා වලදී එම අර්ථදැක්වීම තුල සිටගෙන ගනුදෙනු කිරීමත් තුල වඩාත් සවිමත් ව බාහිර බලපෑම් වලට ඔරොත්තු දිය හැකිය. මේ අයුරින් සියලු ක්ෂේත්‍රයන් වල බුද්ධිමතුන්ගේ (බුග්ධිමතුන් නොවේ) කාර්‍යභාරය විය යුත්තේ තම ක්ෂේත්‍රය තුල ජාතියට වාසිදායක ආකාරයේ නව සංකල්පයන් බිහිකිරීමත් එවා මත පිහිටා ක්‍රියාත්මකවීමත් ය.

චින්තන නිදහස තේරුම්ගනිමු, එය රැකගනිමු.

මගේ දේශය මගේ ජාතිය මගේ ආගම

මට ලබාදුන් ත්‍යාගයයි.

චන්ඩ මාරුතයේ නොසෙල්වෙන

චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අබියස

බියෙන් ඇකිලී නැමී යා නම්

එවන් සිරසක් කුමකටද මට

ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මගේ දේශය ...

මිල මුදල් ලැබ කුවේරයින්ගේ

සිතට එරෙහිව ගයන්නට නම්

ඒ මධුර හඬ කුමකටද මට

ගොළුව බිහිරිව සතුටුවනු මිස

මගේ දේශය ...

Tuesday, September 19, 2006

පශ්චාත් කුලවාදය

ඉන්දියාව කුලවාදයේ බලපෑමෙන් පීඩාවිඳින විශාල පිරිසක් සිටින රටකි. මෑතකදී ඉන්දියානු රජය කුලපීඩනය අවම කිරීම සඳහා ඉතා ප්‍රසංශාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනි. එනම් පහත් කුලයේ කෙනෙක් සමඟ කෙරෙන විවාහ වලදී නව යුවලට දිරිගැන්වීමක් වශයෙන් මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. කාලයක පටන් විවිධ ප්‍රාන්ත රජයන් මගින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුන අතර සමහර ප්‍රාන්තවල රුපියල් ලක්ෂයක් තරම් ත්‍යාග මුදල් පිරිනැමුනි. මෙම නව ක්‍රියාමාර්ගය තුලින් මෙම සංකල්පය මුලු ඉන්දියාව පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. කෙසේවුවද මෙම ලිපියේ අරමුණ නවතම ආකාරයේ ලෝකව්‍යාප්ත කුලවාදයක් හඳුනාගැනීමයි. පශ්චාත් කුලවාදය ලෙස හඳුනාගනු ලබන මෙම නවතම සංකල්පය තුල අප රට ද බලවත් සේ පීඩාවට පත්වී සිටි.


වර්ණාශ්‍රම ධර්‍ම ලෙස හඳුන්වන ඉන්දීය කුලවාදයේ මූලික අරමුණ වන්නේ සමස්ත සමාජය කාර්‍යක්ෂමවත්, ක්‍රමවත්වත් පවත්වාගැනීමයි. සමාජයක පැවැත්ම සඳහා සමාජය තුල විවිධ මට්ටම්වල ජනතාව ජීවත්වියයුතු අතර, ඔවුන් අතර සමාජ වගකීම් නිසිආකාරයෙන් බෙදී පැවතිය යුතුය. සමස්ත සමාජය ම එකසේ වරප්‍රසාද භුක්ති විඳීම තාර්කිකව සාධාරණ නමුත් සමස්ත සමාජයටම එකහා සමාන සමාජ වගකීම් නිර්ණය කිරීම අසීරුය. සමාජයක පැවැත්ම සඳහා පාලකයා පටන් කම්කරුවා දක්වා විවිධ වගකීම් දරන පිරිස් සිටිය යුතුමය. ඉහත වගකීම් වලට ජනතාව යොමුකීරීමේ එක් ක්‍රමවේදයක් නම් විවිධ වගකීම් සඳහා වෙනස් වරප්‍රසාද නිර්ණය කිරීම තුලින් ජනතාව අදාල වගකීම් කරා යොමුකරවීමයි. නමුත් වර්ණාශ්‍රම ධර්‍ම වෙනස් ක්‍රමවේදයක් තුලින් එම අරමුණ කරා ළඟාවෙයි. එනම් උපතෙන් කුලයකුත් සමාජ වගකීම් රාශියකුත් මිනිසුන්ට උරුමකරදීමයි. නමුත් කුලවාදය ක්‍රමානුකූලව ඉන්දියානු සමාජය තුල ඉතා අයහපත් ලෙස විකාශනය විය. කිසිදා ගොඩඒමට බැරි ප්‍රපාතයකට ජනතාවගෙන් කොටසක් ඇද දැමූ එය කුලපීඩනය යොදාගෙන ජනතාව‍ගේ මුලීක අයිතීන් පවා නොසලකා හැර ක්‍රියාකලේය. සමාජක්‍රමයේ මූලික පදනම දැමීමක් ලෙස සැලකුවද අවසානයේදී එය බිහිකල පහත් කුලවල මිනිසුන්ගේ සිත්සතන් තුල දීනකමත්, නොහැකියාවත්, දුප්පත්කමත් වගාකල අතර ඔවුන් තුල කිසිදු පෞර්ෂයක්, ධෛර්‍යයක්, අධිශ්ඨානයක් ඉතිරි නොකලේය. ඉහත ආකාරයටම ඉහල කුලවල මිනිසුන් තුල ඊට හාත්පසින් වෙනස් ලක්ෂණ ඇතිකලේය. අවසානයේ ඉහල කුලවතුන් සදාකල් ඉහල වැජඹීමත් පහත් කුලවල ජනයා සදාගල් අගාධයේ විසීමත් සිදුවිය.

අද ලෝකයේ සාකච්ඡාවට බඳුන්වන හා අපගේ බලවත් සැකයට භාජනය වූ සංකල්පයක් නම් "සංවර්ධනය" යි. මෙම සංවර්ධන මායාව නූතන ලෝකයේ වර්ණාශ්‍රම ධර්‍මය ලෙස ක්‍රියාකරනු දක්නට හැකිය. සංවර්ධනය වූ රටවල්, ඌන සංවර්ධිත රටවල්, තුන්වන ලෝකයේ රටවල් ලෙස රටවල් වගීකරණය කර ජාතීන්ගේ මානසික තලයන් ඒවාට අනුලෝමව සකස්කිරීම පශ්චාත් කුලවාදයේ ප්‍රධාන ක්‍රමෝපායයන්ගෙන් එකකි. මෙම ක්‍රමය තුල දුප්පත් යයි සලකන රටවල පාලකයන්ගේ සිට සාමාන්‍ය වැසියා දක්වා සියල්ලෝම පශ්චාත් කුලවාදයේ කුලපීඩනය තුල ස්වෛරීත්වය නසාගනිමින් වහල්භාවයට ආවඩති. අද දුප්පත් රටවල සියලු සමාජ ආර්ථික ප්‍රශ්ණ වලදී ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවකගේ බලපෑම ගැන සැලකිලිමත් වීමත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා වෙනත් අධිරාජ්‍යවාදී සංවිධානවල බලපෑම් මත ජාතික අවශ්‍යතා නොසලකාහැරීමත් සිදුවන්නේ ඉහත සඳහන් පශ්චාත් කුලවාදී හැඟීම නිසාය. කුලවාදය ප්‍රතික්ෂේප කර පහත් කුලවල ජනයාට මානුෂික හිමිකම් ලබාදීමේදී කුලවාදය න්‍යායාත්මක ප්‍රතික්ෂේප කිරීම මූලික පියවර වන්නා සේ අද අප ර‍ට ඇතුලු දුප්පත් රටවල් පශ්චාත් කුලවාදයේ ග්‍රහණයෙන් මුදවාගැනීමට මූලික වශයෙන් ම කල‍යුත්තේ සංවර්‍ධණය යන සංකල්පය න්‍යායාත්මකව ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොමැතිව එම සංකල්පමය හරයන් තුල මුල්බැසගෙන අපේ ප්‍රශ්ණවලට පිලිතුරු සෙවීමට ගියහොත් වන්නේ එම උගුල්වල තව තවත් සිරවීම පමණි. කියුබාවේ නායකත්වයෙන් නොබැඳි ව්‍යාපාරය ක්‍රියාත්මක වන මෙම මොහොතේ සියලු නොබැඳි ජාතීන්ගේ අවධානයට යොමුවිය යුත්තේ ඊනියා සංවර්ධිත රටවල් මඟින් පටවා ඇති න්‍යායාත්මක උගුල් වලින් පලමුව මිදෙන්නේ කෙසේද කියා යි.

ශ්‍රී ලංකාව කුඩා රටක් ලෙසද, දුප්පත් රටක් ලෙසද, ඌන සංවර්ධිත රටක් ලෙසද, දුර්වල රටක් ලෙසද, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසද, තුන්වල ලෝකයේ රටක් ලෙසද හඳුන්වාදෙයි. මෑතකදී එකතුවූ අලුත් යෙදුම නම් අසාර්ථක රාජ්‍යයක් යන්නයි. නමුත් සැබෑ තත්වය පශ්චාත් කුලවාදයේ න්‍යායාචාර්‍යවරුන් විසින් අපට දෙන පණිවිඩයට වඩා හාත්පසින් වෙනස් එකකි. අපි බලවත් ජාතියක් බවත්, කිසිවෙකුට යටත්වීමේ අවශ්‍යතාවයක් නොමැතිබවත් අවබෝධ කරගැනීමට සරල දත්ත කිහිපයක් විශ්ලේෂණය කිරීම සෑහේ.

ශ්‍රී ලංකාව කුඩා රටක් යන්න අපගේ මනසට හෙලුවෝ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා අපිව මුරුංගා අත්තේ තබා හිරු නොබසින අධිරාජ්‍ය ලෙස තමන්ව හඳුන්වාගතතෝය. නමුත් එංගලන්තය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය යන තුනෙන්ම සැදුම්ලත් මහා බ්‍රිතාන්‍යයේ වර්ග ප්‍රමාණය ලංකාව මෙන් 3 යි දශම 7 කි. සමාජයේ නොයෙක් තරාතිරමේ පුද්ගලයන්ගෙන් මා ඉහත ප්‍රශ්ණය විමසා ඇති අතර බොහෝදෙනෙකුගේ පිලිතුර වූයේ 15 සිට 100 දක්වා ගනනකි. කලාතුරකින් භූගෝල විද්‍යාව හැදෑරූවෙක් නිවැරදි පිලිතුර දුන්නද සමහර උපාධිධාරීන් පවා 100 ට වඩා වැඩි අගයන් පැවසූ අවස්තා තිබුනි.

අද අපි දුර්වල රටක් ලෙස හඳුන්වාගනු ලැබුව ද ලංකාව හමුදාමය පිරිස් බලයෙන් ලොව 34 වන ස්ථානයේ සිටින අතර මීට පෙර ලංකාවේ ප්‍රදේශ කීපයක් යටත්කරගෙන සිටි පෘතුගීසි හා ලන්දේසි ජාතීන් ඇත්තේ පිලිවෙලින් 76 හා 69 ස්ථානවලයි. අපිට යුද්ධ කරන හැටි කියාදෙන්නට පැමිණ සිටින නෝර්වේ 27000 ක පමණ සුලු හමුදාවක් සහිතව 91 වන ස්ථානයේ සිටියි.

ඉහත උදාහරණවලට අමතරව කුමන අතින් බැලුවද ලෝකයේ තරමක් හොඳ ස්ථාවරයක අද ලංකාව ඇත. විරැකියාව විශාල වශයෙන් පහතබැස ඇති අතර ජනතාවගේ ආදායම් මට්ටම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහලගොස් ඇත. කෙටියෙන්ම කිව්වොත් මීට ටික කලකට ඉහත අපේ රටේ නායකයෙක් ණයට ගන්නට සිටි කෝටි හතලිස්පන්දාහ නොලැබුනායින් වූ කිසිම හානියක් නැත. එනිසා අද අපි පශ්චාත් කුලවාදයත් එමඟින් අපගේ පාලකයන් ද ඇතුලු ජනතාව තුල ඇතිකර ඇති හීනමානයත් වටහාගෙන බලවත් හා ධනවත් රටක් ලෙස ඉදිරියට ඒමට අධිෂ්ඨාන කරගත යුතුය.

Tuesday, July 11, 2006

තෙල්, ලේ සහ කඳුලු

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ධූරයේ අන්තිම මොහොතේ දී 'ලංකාවේ තෙල් නිධි ඇත' යන ප්‍රකාෂය ඇය කරන්නේ බලලා මල්ලෙන් එලියට පැන්නා වගේ යන පැරණි පිරුල සිහිකරවමිනි. එයින් නොනැවතුනු ඇය ඛනිජ තෙල් සම්බන්ධ ආයතන ගනනාවක් ස්ථාපිත කර ගිවිසුම් ගනනාවක් අත්සන් කිරීමට ද කටයුතු කලාය. මෙතෙක් කලක් සඟවා සිටි මෙම රහස එලියට ඒමට හේතුව කුමක්ද?


තෙල් ගිවිසුම් අත්සන් කිරීමට ඒ හා සම්බන්ධ ආයතන තිබිය යුතු අතර එවැනි ආයතන ඇතිකිරීමට පෙර තෙල් තිබෙන බව හෙලිකල යුතුය. අවසන් මොහොතේ හෝ තෙල් ගිවිසුම් ගසා රටට වැඩක් කිරීමේ පරම පවිත්‍ර චේතනාවක හිටපු ජනාධිපතිනිය තුල නොතිබුනානම් (එසේ තිබුනේ යැයි කිසිවෙකුට සිතේ නම් මෙම ලිපිය මෙතැනින් එහාට කියවීමෙන් පලක් නොවේ) එම ගිවිසුම් සඳහා ඇයට යම්කිසි බලපැමක් හෝ එම ගිවිසුම් වලින් ඇයට යම්කිසි ලාභයක් තිබුනා විය යුතුය. නිසැකවම ඇයට යම්කිසි උපකාරයක් හෝ බලපෑමක් කර මෙම ගිවිසුම් අත්සන්කරවාගැනීමට ක්‍රියාකල පාර්ශවට මෙම ගිවිසුම් අතිශයින් ම වැදගත් හා හදිසි එවා බව පැහැදිලිය. ඇගෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුවහොත් මෙම ගිවිසුම් ගසාගැනීමට අපහසු බවත් ඒ නිසා ඒ ආකාරයේ හදිසි ක්‍රියාමාර්ගයකට පෙලඹුන බවත් පැහැදිලිය.

චන්ද්‍රකා විසින් අත්සන් කල හා අත්සන් කිරීමට උත්සාහ කරන ලද ඛනිජ තෙල් සම්බන්ධ සියලුම ගිවිසුම් පිටුපස නෝර්වේ රාජ්‍යය හා නොර්වේ සමාගම් සිටී. කෙසේවුවත් චන්ද්‍රිකා‍ගේ හෝ නොර්වේ මහත්වරුන්ගේ හදිසියට හෝ අඥ්ඥානකමට පින් සිදුවන්නට නොර්වේ සාම දූතයන්ගේ නිරුවත සාක්ෂි සහිතව ජනතාවට තේරුම් ගැනීමට හැකිවිය. වර්තමානයේ සැබෑවටම නොර්වේ උදව් කරන සාමයක් නැත. ඒ බව දැන් පක්ෂ බේදයකින් තොරව සියලු ජනතාව දන්නා අතර ජනතාව එය දන්නා බව නෝර්වේ ද දනී. දැන් ඇත්තේ අලජ්ජිතව බලහත්කාරයෙන් අපේ රටේ ප්‍රශ්ණවලට මැදිහත්වී සිටීමකි. ‍සැබවින්ම මෙහිදී අපට බලපෑම් එල්ල කරන්නේ නෝර්වේ නොවේ. නෝර්වේ යනු බටහිර මංකොල්ලකරුවන්ගේ එක් ඒජන්ත කෙනෙක් පමණි. හුදකලා රටක් ලෙස ගතහොත් ලංකාවෙන් හතරෙන් එකක පමන ජනතාවක් වෙසෙන, 27000 ක් තරම් වූ කුඩා හමුදාවක් ඇති, මාලුකාරයන්ගෙන් පැවතෙන ජාතියකට කිසිසේත් ලංකාව බියවිය යුතු නැත.

කෙසේ හෝ ලංකාවේ තෙල් ඉල්ලම ගිලගැනීමට බටහිර රටවලට හැකි වුවහොත් එයින් වැඩිපුර කුටිටියක් ඩැහැගැනීමට අවසානය වනතුරු ඕනෑම බැනුමක් අහගෙන වටේ කැරකි කැරකී සිටීමට නෝර්වේ සූදානම් බව අපි වටහාගතයුතුය. ඉරාකයේ, සුඩානයේ, ටිමෝරයේ තෙල් දඩයම ක්‍රියාත්මක වුනේ එක් එක් ස්වරූපයන්ගෙන් හා එක් එක් ආකාරයේ උපක්‍රම භාවිත කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ ලංකාව සඳහා වූ උපක්‍රම සම්පූර්‍ණයෙන්ම නැවත සංස්කරනට කිරීමට බටහිර කොල්ලකාරී රටවල් ක්‍රියාකම්න් සිටින බව බව ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්ණය සම්බන්ධයෙන් දැන් දැන් සිදුවන ක්‍රියාකරාකම් වලින් පැහැදිලිය. උන්ගේ අරමුණ පැහැදිලිය. උන්ට තෙල් ද අපට ලේ හෝ කඳුලු හෝ ඒ දෙකම ලැබෙන අවසානයක් කරා එම අරමුණු ක්‍රියාත්මකය. සුඩානයේ ආකාරයේ ප්‍රතිචාරයකින් කඳුලු උරුමවනු ඇති අතර ඉරාකයේ ආකාරයේ ප්‍රතිචාරයකින් ලේ සහ කඳුලු යන දෙකම උදාකර දෙනු ඇත.

අප කල යුත්තේ කුමක්ද? අද ලෝක දේශපාලනය යනු ලෝක ව්‍යාප්ත වෘත්තීය මංකොල්ලකරුවන් ප්‍රමුඛ කොටගත් මංකොල්ලකාරී ගෝත්‍ර කීපයක් සම්පත් සහ වෙලඳපොල සඳහා දඩ‍යමේ යෙදීම සහ අන්තවාදී මත පදනම් කරගත් අමන ත්‍රස්තවාදී ව්‍යාපාරවල(කොටි ත්‍රස්තවාදීන් මෙම ගනයට අයත් නොවේ. ඔවුන් ජාත්‍යන්තර මංකොල්ලකරුවන්ගේ ආයුධයක් පමණි) අසාර්ථක ප්‍රතිවිරෝධයනුත්ය. රාජ්‍යයන් ලෙස මෙම ක්‍රමයට සාර්ථක ප්‍රතිවිරෝධයක් දැක්විය හැක්කේ උතුරු කොරියාව ආකාරයේ භාවිතයන් තුලින් පමණි. නමුත් බොහෝ රටවලට (ඉන්දියාවට පවා) කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් ප්‍රමාණයකට තමන්ගේ ර‍ටවල අවශ්‍යතාවයන් යටපත් කොට මංකොල්ලකරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා හැඩගැසීමට සිදුවී තිබේ.

ඉහත සඳහන් කරන ලද පසුබිම තුල චන්ද්‍රිකා, රනිල්, ප්‍රභාකරන් යනු සැලකියයුතු මාතෘකා නොවේ. මහින්ද චින්තනය අද කරලියේ රඟදැක්වුව ද එයද තාවකාලික වෙළඳ නාමයක් පමණක් බව හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන න්‍යාය හා ගණිත අභ්‍යුහනය ආශ්‍රයෙන් සාධනය කල හැක. නමුත් ජාතිය හමුවේ පවතින අවදානම හා තර්ජනයට අනුව පිලිතුර නිර්‍මාණය කල යුත්තේ සමස්ත ජාතිය විසිනි. මහින්ද චින්තනය බලයට ගෙනා ජාතික ව්‍යාපාරයේ කාර්යභාරය එයින් නොනැවතී තවත් ඉදිරියට යා යුතු බවත්, ජාතිය හමුවේ ඇති අභියෝග ජයගැනීමට වසර දහස්ගනනක ජාතියක් වශයෙන් ලත් පරිණතභාවය යොදාගත යුතු බවත් අපි අවබෝධ කරගත යුතුය. එනිසා සාම වෙ‍ළෙන්ඳන්ගේ අරුමෝසම් විසඳුම් ද පරගැතියන්ගේ නිවට විසඳුම් ද පරාජය කර උන්ට කඳුලු අපට තෙල් ලැබෙන ගමනකට යාම සඳහා ප්‍රමාණවත් ජාතික කතිකාවක් ඇරඹිය යුතුව ඇත.

Monday, May 15, 2006

හඳනළ මහතාගේ ප්‍රංශ කැමරාව

ජාත්‍යන්තර කීර්තියට පත් ඡායාරූප ශිල්පී හඳනළ මහතාගේ තවත් ප්‍රදර්ශණයක් කොළඹ කලාභවනේ පැවැත්වෙන බව අසා මමත් මඳක් කිට්ටු කලෙමි. ප්‍රදර්ශණයට ඇතුල්වෙන තැනම සවිකර තිබූ දැවැන්ත ඡායාරූපයක් දැක මම එකවරම ගල්ගැසී සිටියෙමි. අඩි 10*10 ප්‍රමාණයේ විශාලත්වයට රාමුකර තිබුනේ අසූචි ගොඩක ඡායාරූපයකි. මඳක් විමතියට පත්වූවත් හඳනළ මහතා ගැවසෙන ඉසව් ගැන සාමාන්‍ය අවබෝධයක් ඇති නිසා මම ගානක‍ට නොගෙන ඇතුලට රිංගා ගතිමි. ඇතුලත වූයේ මහා ම ගාලගෝට්ටියකි. ආචාර්‍යවරු, මහාචාර්‍යවරු, සංගීතාචාර්‍යවරු, ඡායාරූපාචාර්‍යවරු, සංස්කෘතිකාචාර්‍යවරු, නූතනවාදාචාර්‍යවරු ආදී සියලුම ආකාරයේ චාර්‍යවරු එකිනෙකා පරයා වාදකරමින් සිටියහ. කිසිමාකාරයේ විශේසඥ්ඥ දැනුමක් නොමැති නිසා ත් වාදයකට නොපැටලී ඡායාරූප නැරඹීම අපහසු වූ නිසාත් වාදවලට සවන්දෙන්න පටන්ගතිමි.


පලමුවෙන්ම මට හමුවූයේ ප්‍රදර්ශණයේ පිලිගැනීමේ නිලධාරියාය. ඔහු ගත්කටටම අර ඡායාරූපය ගැන මාගේ අදහස් විමසීය. මම අදසක් පල නොකොට ෂේප් වෙන්න හදද්දී ඔහු ම අදහස් පලකරන්නට විය. "මේ ඡායාරූපය ඉතා දුර්ලභ ගණයේ ඡායාරූපයක්. ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශන ගානකටම ඉදිරිපත් කරලා සම්මාන පවා ලැබිලා තියනවා මේකට. නමුත් ලංකාවේ මේක ප්‍රදර්ශණය කරන ප්‍රථම අවශ්ථාව මේකයි. ඉතින් ජාත්‍යන්තර තලයේ ඡායාරූපයක් කාලෙකට පස්සේ බලාගන්න ලැබීමත් එක අතකින් ලොකු භාග්‍යයක්. මම පොඩ්ඩක් විස්තර කරන්නමි ඔහු මේ ඡායාරූපය ගත්තේ කොහොමද කියලා. හඳනළ මහත්තයා දවසක් හොඳ ඡායාරූප කිහිපයක් ගන්න හිතේ තියාගෙන පේරාදෙනිය මල්වත්තේ රොබරෝසියා මල් පිපිච්ච පාරක් දිගේ ඇවිදගෙන යනවා. ඔහුට පේනවා මල් ගස් අතර ඉඳගෙන ඉන්න ආදරවන්‍තයෝ, තනකොල උඩට මල් වැටිලා නිකං පාට පාට ලෝකයක් වගේ. එතකොට තමයි හඳනළ මහත්තයාගේ විමසුම් ඇස ක්‍රියාත්මක වෙන්නේ. ඔහුට සියුම් සද්දයක් ඇහෙනවා හරියට මී මැස්සන්ගේ වගේ. මී මැස්සන්ගේ සද්දේ ඔස්සේ යන ඔහුට හම්බවෙන්නේ නිලමැස්සන් පිරිචිච අසූචි ගොඩක්. හඳනල මහත්තයත් හොය හොයා හිටියේ ඒ වගේ කිසිම ඡායාරූප ශිල්පියෙකුට විශය නොවුන අලුත්ම ඉසව්වක් තමයි. එතුමා වහාම දෙකට නැමිලා අසූචි ගොඩේ ඡායාරූපයක් ගන්නවා. වැදගත්ම දේ තමයි අඩුගානේ ප්‍රංශ ජායාරූප ශිල්පියෙක් වත් මේ වගේ නැවුම් විශය ක්ෂේත්‍රයක් ඔස්සේ තමාගේ කැමරාව මෙතෙක් මෙහෙයවූයේ නැති එක. එක් ප්‍රසිද්ධ ප්‍රංශ විචාරකයෙක් කියනවා මෙම ඡායාරූපයෙන් අවුරුදු දහස් ගනනක් තිස්සේ අප්‍රසන්න දෙයක් ලෙස සැලකූ අසූචි වලට නවතම අර්ථකථනයක් ලැබුනා කියලා." මා ගේ වාසනාවක‍ටදෝ ප්‍රධාන දොරෙන් තවත් පුද්ගලයෙක් පැමිණි අතර පිළිගැනීමේ නිළධාරියා මා අතහැර ඔහු වෙත ගොස් මට දුන් දේශනාවම දෙන්නට විය.

එන්න එන්නම ඡායාරූප ප්‍රදර්ශනයේ වටිනාකම මට අවබෝධ විය. සිකුරිටිකාරයා අර වගේ ටෝකක් දුන්නා නම් ශාලාව පිරිලා ඉන්න උගත්තු මොන වගේ ටෝක්ස් දෙයිදැයි මගේ සිතේ කුතුහලයක් හටගති. කට්ට පෙනුමක් තියන තට්ට මහත්තයෙක් කීපදෙනෙක් වටකරගෙන ඡායාරූපයට නොසෑහෙන්න බනිනවා ඇසුනි. "මේ යකාට පේරාදෙනිය මල්වත්තේ ගන්න එකක් නැතුවද මේ අසූචි ගොඩක් ෆොටෝ ගහලා හැමෝටම පේන්න මෙතන ගහලා තියෙන්නේ. එහෙම එකක් දැක්කම උදැල්ලක් අරන් වහලා දාන්නේ නැතුව ෆොටෝ ගහලා අපිටත් ගෙනල්ලා පෙන්නනවා. ප්‍රදර්ශනේ බලන්න ආපු අපිටත් කරපු අපහාසයක් මේක. මේවා බලන්න අපි කලා භවනට එන්න ඕනද? අහවල් කලාත්මක බාවයක් ද මේ ඡායාරූපයේ තියෙන්නේ?"

එතකොටම පශ්චාත් නූතනවාදී විලාසිතාවට කොණ්ඩය සකස්කරගත් පොරක් මෙහෙම ටෝකක් දැමීය. "මිස්ටර් මේක ටිකක් පැහැදිලි කරගන්න බලන්න. හැමෝම හැමෝටම පාවිච්චි වෙන නවීන ලෝකයේ මේක එච්චර දෙයක් නෙමෙයි. කැමරාව ට අසූචි ගොඩ පාවිච්චි උනා අසූචි වලට කැමරාව පාවිච්චි උනා. ෆො‍ටෝ එකට කැමරාව පාවිච්චි උනා, අපිට ෆොටෝ එක පාවිච්චි උනා. ෆොටෝ එකට අසූචි පාවිචිචි උනා, අසූච් වලට අපි පාවිච්චි උනා. ඉතාමත් සරලයි නේද?

මහත්තයා මේ ඡායාරූපය ගන්න කැමරාව අරන් දීලා තියෙන්නේ ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය. මහත්තයා මේ ඡායාරූපයට අපහාස කරනවා කියන්නේ ප්‍රංශ රජයටම කරන අපහාසයක්.

එතකොටම ටිකක් පස්සට වෙන්න හිටපු නිවට පෙනුමක් තිබ්බ පොරක් උඩපැනපැන ‍ටෝක්ස් දෙන්න පටන්ගත්තේය. "අසූචි ඇඟේ තියනකොට හොඳනම් එලියට දැම්මාම නරක වෙන්නේ කොහොමද? මම නම් කියන්නේ කෑවත් වරදක් නෑ. කොහොමත් බඩේ තිබුන දේවල්මනේ. ආපහු බඩටම යනඑක විතරයි නේ." මට නම් ඔහුගේ කතාව ඇල්ලුවේ නැතිවුනාට පැත්තක හිටපු ප්‍රංශ පෙනුමක් තිබූ සුද්දෙකු‍ටනම් හොඳටම හිතට අල්ලලා ගියබව පේන්න තිබුනි. පොර ගාවට කිට්ටු කරලා ඔයාට ඡායාරූපකරනයට එන්න එහෙම අදහසක් නැද්දැයි සිංහලෙන්ම අහනවා මට පස්සේ දක්නට ලැබුනි. අසූචි කන්න ම ඕන නෑ අනිත් අයට කවන්න පුලුවන්නම් ඒ ඇති කියලා කියනවාද යන්තමට ඇසුනි.

Wednesday, April 26, 2006

යුද්ධයද සාමයද

කෆීර් යානයක් කන ගාවින් යනවා ඇහිලා ඇහැරුනා. කාලෙකට පස්සේ දැක්කේ. මහින්ද ජනාධිපති වුනාට පස්සේ දෙතුන්පාරත් ගුවන් තොටුපල වටේ කැරකුනාට උතුරට යනවා දැක්කේ නෑ. ඉස්සර නම් කෆීර් එකක් උතුරට ගියාම ආපහු එන්න ඕන වෙලාවත් දන්නවා. ඒ තරමට සද්දේ හුරුවෙලා තිබුනේ. මේ පාරනම් නග්ගපු එවා රවුමක් කරකවලා බැස්සුවේ නෑ. යුද්දේ පටන්ගත්තා කියලා මට තේරුනා.

මිනීමරු කොටි කල්ලිය විසින් ලංකාණ්ඩුව නැවතත් යුද්ධයකට කැඳවා තිබේ. යුද්ධයේ ආසන්නතම හේතුව හමුදාපතිවරයා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමයි. බෝම්බය එල්ලකලේ කවුරුන් විසින්දැයි මෙහි නොකියන ලද්දේ බීබීසීයට මෙන් එය හිතාගත නොහැකි නිසා නොවේ. සිංහලෙන් ලියා ඇති මෙය කියවන සියලු දෙනා එය හොඳින් ම දන්නා බැවිනි. සටන් විරාමය අස්සේ හතරවැනි ඊලාම් යුද්ධය ඇරඹුවේ මීට බොහෝ ඉහත වුවද යුද්ධයට ආණ්ඩුව කැඳවනු ලැබුයේ හමුදාපතිවරයාට එල්ල වූ ප්‍රහාරයත් සමඟය.


සාමහ සඳහා කැපවී ඇතැයි කියන එල්ටීටීය (මෙය පිලිගන්නා කවුරුවත් නැත. නමුත් මෙය දිගින් දිගටම වමාරන අය සිටිති) එක්වරම කිසිදු හේතුවක් නොදක්වා සාමයට පයින් ගැසුවේ ඇයි. මහින්ද චින්තයත් එක්ක සාකච්ඡා කිරීමෙන් තමන්ගේ ඉල්ලීම් ලබාගැනීමට නොහැකි බව ඒත්තු ගොස් ඇති නිසායැයි ඇතැමෙක් කියති. බටහිර රටවල් විවිධාකාරයේ තහනම් පනවාගෙන එන නිසායැයි ඇතැමෙක් කියති. ඇතැමෙකුට අනුව එල්ටීටීඊය තවදුරටත් සාමය සඳහා පෙනීසිටින අතර හමුදාපති ඝාතන තැත ද කදිරගාමර් ඝාතනය වැනි එක් සිද්ධියක් පමණකි.

දැන් ඉතින් ආණ්ඩුවේ ගුවන් ප්‍රහාරත් සමඟම ඔන්න ආණ්ඩුව යුද්දේ පටන්ගත්තා කියා මොරදෙන්නට එන්ජීඕ බත් බැලයෝ පොරකනු ඇත. කදිරගාමර් ඝාතනයේදීවත්, මේජර් මුතාල්ෆ් ඝාතනයේදී වත් හමුදාපතිට එල්ල කල බෝම්බ ප්‍රහාරයේදීවත් ඔන්න එල්ටීටීඊය යුද්දෙ පටන්ගත්තා කියන්න හිතුවේවත් නැති කොටින්ගෙන් නඩත්තු වෙන වන්දිභට්ටයෝ ගුවන් ප්‍රහාරවලින් පලවෙනි කොටි බංකරය විනාශ උන ගමන් අපොයි අම්මෝ අහිංසකයාගේ පැල ඉවරයි කියා උඩුබුරන්නට බලාගෙන සිටිති.

කෙසේවුවත් යුද්දේ පටන්ගත්තේ ඇයි. ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ෂේප් කරගන්නේ නැතුව ආණ්ඩුවට යුද්දෙකට යන්න බෑ, ගියොත් අමාරුවේ වැටෙයි, ආධාර නවතියි කියලා කියන අය ජාත්‍යන්තර ප්‍රජාව තරහා කරගෙන එල්ටීටීඊයට යුද්දෙකට යන්න පුලුවන් දැයි සිතාබැලිය යුතුය. ආණ්ඩුවට වඩා යුද්දෙකදී ජාත්‍යන්තර ප්‍රජාව තරහා නොකරගැනීමට ක්‍රියාකල යුත්තේ කොටි සංවිධානයයි. ඔවුන්ගේ සියලු යුධමය සැපයුම් හා අරමුදල් ලැබෙන්නේ විදේශ රටවල් හරහායි. එනිසා ඇත්ත කතාව නම් එල්ටීටීඊයේ මෙම යුධ ආරාධනාව ඔවුන්ගේ කැමැත්ත කෙසේ වුවත් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑමෙන් සිදුවූ දෙයක් බවයි. බටහිරයෝ මේ යුද්දේ පටන්ගන්න කලින් කල දේවල් එකිනෙක ගෙන බලමු. කැනඩාවේ කොටි තහනම, යුරෝපටය් තහනම් කිරීමේ සැලසුම් ආදිය පිලිවෙලට සිදුවෙනකොට අපි හිතන්නේ කොටි ජාත්‍යන්තරව කොන්වේගෙන යන බවයි. මේ සියලු දේවල් වලින් ජාත්‍යන්තර ප්‍රජාව කොටි විරෝදී බවක් පලකොට මහින්ද ගේ යුද්දෙට නොකියා හා කියන තත්වයක් මවා පාලා තියනවා. ඒ එක්කම කොට් සංවිධානය හමුදාපතිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකරනවා. ආණ්ඩුවත් ප්‍රතිප්‍රහාර පටන්ගන්නවා.

බටහිරයන්ට ලංකාවේ දැන් තියන ප්‍රධානම ප්‍රශ්ණේ තමයි මහින්ද චින්තනය. ඉතින් ඔවුන් කල්පනාකරන්නේ මේ මහින්ද චින්තනය ගෙදර යවලා ආයෙත් වතාවක් පරගැති චින්තනයක් මේ රටේ රජ කරවන්නේ කොහොමද කියලා. මහින්ද මේ විධියට සාමෙ කලොත් නම් ආත්මෙකට එලවන්න බැරි නිසා යුද්දෙකට ඇදලා දාලා කෑගහන්න හදන්නේ මෙන්න මිනී මරනවෝ කියලා. ඊට පස්සේ මේ රටේ ඉන්න අවජාතක එන්ජීඕ කාරයෝ ටිකයි ඊනියා ජාත්‍යන්තර ජනමාධ්‍යයයි එකතු වෙලා මානව හිමිකම් ආදී නොයෙක් ගජබින්න කියාගෙන රට පෙරලන්න හදාවි. රටට වඩා බඩ ගැන හිතන නායකයෝත් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඔකනේ අපි කිවිවේ, අපිට කරන්න දුනනෙත් නෑ නේ කියලා කියාවි. බඩු මිලත් ටික ටික ගනන් යන අතරම ආධාරත් සීමාකරලා මිනිස්සුන්ට පීඩනක් දැනෙන්න ඇරලා රට පෙරලන්න හදාවි. සමහරවිට විදේශ හමුදාවක් ගොඩබස්සන්න හිතාගෙන ඉන්නවද කියන්නත් බෑ.

ඉතින් කෙනෙක් හිතන්න පුලුවන් අපිට ගොඩයාමක් නැද්ද කියලා. සාමයත් බටහිර උගුලක්, යුද්ධයත් බටහිර උගුලක්. මේ උගුල් දෙකේ පැටලෙන්නේ නැතුව හරියට සාමය (එල්ටීටීඊය සමඟ මේක කරන්නට බැරි බව පැහැදිලිය) හෝ යුද්ධය කලොත් නම් ජයගන්න පුලුවන්. මෙහිදී වඩා වැදගත් වෙන්නේ ජනතාවගේ යුධ දේශපාලන දැනුම. ජනතාව සවිඥ්ඤාණිකව ප්‍රශ්ණය තේරුම් අරගෙන අවස්තාවාදීන්ටත් බටහිර මංකොල්ලකාරයිටවත් කඩේ යන්නේ නැතුව ජනාධිපතිතුමාට ශක්තිය ලබාදුන්නොත් අපට යුද්ධය ජයගන්න හැකිවෙනවා නියතයි.