Tuesday, September 19, 2006

පශ්චාත් කුලවාදය

ඉන්දියාව කුලවාදයේ බලපෑමෙන් පීඩාවිඳින විශාල පිරිසක් සිටින රටකි. මෑතකදී ඉන්දියානු රජය කුලපීඩනය අවම කිරීම සඳහා ඉතා ප්‍රසංශාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනි. එනම් පහත් කුලයේ කෙනෙක් සමඟ කෙරෙන විවාහ වලදී නව යුවලට දිරිගැන්වීමක් වශයෙන් මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. කාලයක පටන් විවිධ ප්‍රාන්ත රජයන් මගින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුන අතර සමහර ප්‍රාන්තවල රුපියල් ලක්ෂයක් තරම් ත්‍යාග මුදල් පිරිනැමුනි. මෙම නව ක්‍රියාමාර්ගය තුලින් මෙම සංකල්පය මුලු ඉන්දියාව පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. කෙසේවුවද මෙම ලිපියේ අරමුණ නවතම ආකාරයේ ලෝකව්‍යාප්ත කුලවාදයක් හඳුනාගැනීමයි. පශ්චාත් කුලවාදය ලෙස හඳුනාගනු ලබන මෙම නවතම සංකල්පය තුල අප රට ද බලවත් සේ පීඩාවට පත්වී සිටි.


වර්ණාශ්‍රම ධර්‍ම ලෙස හඳුන්වන ඉන්දීය කුලවාදයේ මූලික අරමුණ වන්නේ සමස්ත සමාජය කාර්‍යක්ෂමවත්, ක්‍රමවත්වත් පවත්වාගැනීමයි. සමාජයක පැවැත්ම සඳහා සමාජය තුල විවිධ මට්ටම්වල ජනතාව ජීවත්වියයුතු අතර, ඔවුන් අතර සමාජ වගකීම් නිසිආකාරයෙන් බෙදී පැවතිය යුතුය. සමස්ත සමාජය ම එකසේ වරප්‍රසාද භුක්ති විඳීම තාර්කිකව සාධාරණ නමුත් සමස්ත සමාජයටම එකහා සමාන සමාජ වගකීම් නිර්ණය කිරීම අසීරුය. සමාජයක පැවැත්ම සඳහා පාලකයා පටන් කම්කරුවා දක්වා විවිධ වගකීම් දරන පිරිස් සිටිය යුතුමය. ඉහත වගකීම් වලට ජනතාව යොමුකීරීමේ එක් ක්‍රමවේදයක් නම් විවිධ වගකීම් සඳහා වෙනස් වරප්‍රසාද නිර්ණය කිරීම තුලින් ජනතාව අදාල වගකීම් කරා යොමුකරවීමයි. නමුත් වර්ණාශ්‍රම ධර්‍ම වෙනස් ක්‍රමවේදයක් තුලින් එම අරමුණ කරා ළඟාවෙයි. එනම් උපතෙන් කුලයකුත් සමාජ වගකීම් රාශියකුත් මිනිසුන්ට උරුමකරදීමයි. නමුත් කුලවාදය ක්‍රමානුකූලව ඉන්දියානු සමාජය තුල ඉතා අයහපත් ලෙස විකාශනය විය. කිසිදා ගොඩඒමට බැරි ප්‍රපාතයකට ජනතාවගෙන් කොටසක් ඇද දැමූ එය කුලපීඩනය යොදාගෙන ජනතාව‍ගේ මුලීක අයිතීන් පවා නොසලකා හැර ක්‍රියාකලේය. සමාජක්‍රමයේ මූලික පදනම දැමීමක් ලෙස සැලකුවද අවසානයේදී එය බිහිකල පහත් කුලවල මිනිසුන්ගේ සිත්සතන් තුල දීනකමත්, නොහැකියාවත්, දුප්පත්කමත් වගාකල අතර ඔවුන් තුල කිසිදු පෞර්ෂයක්, ධෛර්‍යයක්, අධිශ්ඨානයක් ඉතිරි නොකලේය. ඉහත ආකාරයටම ඉහල කුලවල මිනිසුන් තුල ඊට හාත්පසින් වෙනස් ලක්ෂණ ඇතිකලේය. අවසානයේ ඉහල කුලවතුන් සදාකල් ඉහල වැජඹීමත් පහත් කුලවල ජනයා සදාගල් අගාධයේ විසීමත් සිදුවිය.

අද ලෝකයේ සාකච්ඡාවට බඳුන්වන හා අපගේ බලවත් සැකයට භාජනය වූ සංකල්පයක් නම් "සංවර්ධනය" යි. මෙම සංවර්ධන මායාව නූතන ලෝකයේ වර්ණාශ්‍රම ධර්‍මය ලෙස ක්‍රියාකරනු දක්නට හැකිය. සංවර්ධනය වූ රටවල්, ඌන සංවර්ධිත රටවල්, තුන්වන ලෝකයේ රටවල් ලෙස රටවල් වගීකරණය කර ජාතීන්ගේ මානසික තලයන් ඒවාට අනුලෝමව සකස්කිරීම පශ්චාත් කුලවාදයේ ප්‍රධාන ක්‍රමෝපායයන්ගෙන් එකකි. මෙම ක්‍රමය තුල දුප්පත් යයි සලකන රටවල පාලකයන්ගේ සිට සාමාන්‍ය වැසියා දක්වා සියල්ලෝම පශ්චාත් කුලවාදයේ කුලපීඩනය තුල ස්වෛරීත්වය නසාගනිමින් වහල්භාවයට ආවඩති. අද දුප්පත් රටවල සියලු සමාජ ආර්ථික ප්‍රශ්ණ වලදී ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවකගේ බලපෑම ගැන සැලකිලිමත් වීමත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා වෙනත් අධිරාජ්‍යවාදී සංවිධානවල බලපෑම් මත ජාතික අවශ්‍යතා නොසලකාහැරීමත් සිදුවන්නේ ඉහත සඳහන් පශ්චාත් කුලවාදී හැඟීම නිසාය. කුලවාදය ප්‍රතික්ෂේප කර පහත් කුලවල ජනයාට මානුෂික හිමිකම් ලබාදීමේදී කුලවාදය න්‍යායාත්මක ප්‍රතික්ෂේප කිරීම මූලික පියවර වන්නා සේ අද අප ර‍ට ඇතුලු දුප්පත් රටවල් පශ්චාත් කුලවාදයේ ග්‍රහණයෙන් මුදවාගැනීමට මූලික වශයෙන් ම කල‍යුත්තේ සංවර්‍ධණය යන සංකල්පය න්‍යායාත්මකව ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොමැතිව එම සංකල්පමය හරයන් තුල මුල්බැසගෙන අපේ ප්‍රශ්ණවලට පිලිතුරු සෙවීමට ගියහොත් වන්නේ එම උගුල්වල තව තවත් සිරවීම පමණි. කියුබාවේ නායකත්වයෙන් නොබැඳි ව්‍යාපාරය ක්‍රියාත්මක වන මෙම මොහොතේ සියලු නොබැඳි ජාතීන්ගේ අවධානයට යොමුවිය යුත්තේ ඊනියා සංවර්ධිත රටවල් මඟින් පටවා ඇති න්‍යායාත්මක උගුල් වලින් පලමුව මිදෙන්නේ කෙසේද කියා යි.

ශ්‍රී ලංකාව කුඩා රටක් ලෙසද, දුප්පත් රටක් ලෙසද, ඌන සංවර්ධිත රටක් ලෙසද, දුර්වල රටක් ලෙසද, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසද, තුන්වල ලෝකයේ රටක් ලෙසද හඳුන්වාදෙයි. මෑතකදී එකතුවූ අලුත් යෙදුම නම් අසාර්ථක රාජ්‍යයක් යන්නයි. නමුත් සැබෑ තත්වය පශ්චාත් කුලවාදයේ න්‍යායාචාර්‍යවරුන් විසින් අපට දෙන පණිවිඩයට වඩා හාත්පසින් වෙනස් එකකි. අපි බලවත් ජාතියක් බවත්, කිසිවෙකුට යටත්වීමේ අවශ්‍යතාවයක් නොමැතිබවත් අවබෝධ කරගැනීමට සරල දත්ත කිහිපයක් විශ්ලේෂණය කිරීම සෑහේ.

ශ්‍රී ලංකාව කුඩා රටක් යන්න අපගේ මනසට හෙලුවෝ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා අපිව මුරුංගා අත්තේ තබා හිරු නොබසින අධිරාජ්‍ය ලෙස තමන්ව හඳුන්වාගතතෝය. නමුත් එංගලන්තය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය යන තුනෙන්ම සැදුම්ලත් මහා බ්‍රිතාන්‍යයේ වර්ග ප්‍රමාණය ලංකාව මෙන් 3 යි දශම 7 කි. සමාජයේ නොයෙක් තරාතිරමේ පුද්ගලයන්ගෙන් මා ඉහත ප්‍රශ්ණය විමසා ඇති අතර බොහෝදෙනෙකුගේ පිලිතුර වූයේ 15 සිට 100 දක්වා ගනනකි. කලාතුරකින් භූගෝල විද්‍යාව හැදෑරූවෙක් නිවැරදි පිලිතුර දුන්නද සමහර උපාධිධාරීන් පවා 100 ට වඩා වැඩි අගයන් පැවසූ අවස්තා තිබුනි.

අද අපි දුර්වල රටක් ලෙස හඳුන්වාගනු ලැබුව ද ලංකාව හමුදාමය පිරිස් බලයෙන් ලොව 34 වන ස්ථානයේ සිටින අතර මීට පෙර ලංකාවේ ප්‍රදේශ කීපයක් යටත්කරගෙන සිටි පෘතුගීසි හා ලන්දේසි ජාතීන් ඇත්තේ පිලිවෙලින් 76 හා 69 ස්ථානවලයි. අපිට යුද්ධ කරන හැටි කියාදෙන්නට පැමිණ සිටින නෝර්වේ 27000 ක පමණ සුලු හමුදාවක් සහිතව 91 වන ස්ථානයේ සිටියි.

ඉහත උදාහරණවලට අමතරව කුමන අතින් බැලුවද ලෝකයේ තරමක් හොඳ ස්ථාවරයක අද ලංකාව ඇත. විරැකියාව විශාල වශයෙන් පහතබැස ඇති අතර ජනතාවගේ ආදායම් මට්ටම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහලගොස් ඇත. කෙටියෙන්ම කිව්වොත් මීට ටික කලකට ඉහත අපේ රටේ නායකයෙක් ණයට ගන්නට සිටි කෝටි හතලිස්පන්දාහ නොලැබුනායින් වූ කිසිම හානියක් නැත. එනිසා අද අපි පශ්චාත් කුලවාදයත් එමඟින් අපගේ පාලකයන් ද ඇතුලු ජනතාව තුල ඇතිකර ඇති හීනමානයත් වටහාගෙන බලවත් හා ධනවත් රටක් ලෙස ඉදිරියට ඒමට අධිෂ්ඨාන කරගත යුතුය.