Monday, March 12, 2007

අධිරාජ්‍ය ත්‍රස්තවාදයට සාක්ෂි සැපයීම

ත්‍රස්තවාදයෙන් දශක කිහිපයක් බැටකෑ අපි අද තීරණාත්මකව ත්‍රස්තවාදය පරාජය කිරීම අබියස සිටිමු. නමුත් ඊට වඩා සැම අතින්ම දරුණු හා බලවත් අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් වීමේ අවදානකටද ලක්ව සිටිමු. රටක ජනතාව සූරාකෑම සඳහාත්, තම ඒකාධිපති බලය පවත්වාගෙන යාම සඳහාත් පාලකයන් ජනතාව මත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නේ යම්සේද, එසේම අන්රටවල් සූරාකෑමත් තම ඒකාධිකාරය පවත්වාගෙනයාමත් අරමුණු කරගෙන අධිරාජ්‍ය ත්‍රස්තවාදය එයට වඩා විශාල පරිමාණයෙන් දුප්පත් රටවල් මත ක්‍රියාත්මක වෙයි. අසූ ගනන්වල අගභාගයේදී සෝවියට් දේශයේ බිඳවැටීමත් සමඟම අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ තනි නියමුවා බවට පත්වීමට ඇමෙරිකාවට හැකිවිය. අන් ඕනෑම දෙයකට මෙන්ම ත්‍රස්තවාදයටද තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම සඳහා යම් න්‍යායක් අවශ්‍ය වේ. කොටි ත්‍රස්තවාදය මෙහිදී දඩමීමා කරගෙන ඇත්තේ දෙමළ ජනතාවට අහිමී ඇතැයි කියන ඊනියා අයිතිවාසිකම් කිහිපයකි. සාමාන්‍ය ත්‍රස්තවාදයක් එවැනි සරල හේතු දැක්වීමකින් සාධාරනීකරණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් ම නොවේ. ත්‍රස්තවාදයට තම කටයුතු කිසිදු හේතුවකින් තොරව නිර්ලජ්ජිතව කරගෙන යාමට වුවද හැකිය. නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය තරමක් ශීලාචාර වන අතර ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. කොටි ත්‍රස්තවාදීන් ගම්වලට පැන අහිංසක ජනතාව කැතිගා දැමුවද, අසූ ගනන්වල රාජ්‍ය ත්‍රස්තවාදය තම ක්‍රියාකාරකම් නාඳුනන තුවක්කුකාරයාගේ ගිනුමට බැරකිරීමට තරම් කෛරාටික විය. ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙහිදී රාජ්‍ය ත්‍රස්තවාදයටත් වඩා අතිශය සියුම් උපක්‍රම භාවිතා කරයි. ඉරාකයට සමූල භාතක අවි චෝදනාව පටවා ආක්‍රමණය කර අවසානයේ දිනකට සිය ගනනින් සිදුවන අපරාධ වල වගකීම ඉරාක ජනතාව ‍මතම පටවනුයේ ඒවා මුස්ලිම් කල්ලි අතර ගැටුම් ලෙස අර්ථ දක්වමිනි.


අධිරාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමේදී යම් යම් පියවරයන් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය. ප්‍රථමයෙන් තම අධිරාජ්‍යයේ කොටස්කරුවන් හෝ සේවකයන් නොවන රටවල් හඳුනාගනී. දෙවනුව, කුමන හෝ ගැටළුවක් එම රට තුල නිර්‍මාණය කිරීමට අධාර හා අනුබල දෙයි. එසේ නොකල හැකිවුවහොත් කිසිදු හේතුවක් නොමැතිව සම්භාදක පනවා පරාජය බාරගනී. කියුබාව මීට හොඳ නිදසුනකි. නමුත් ලංකාව තුල අදාල ගැටළුව නිර්‍මාණය කිරීමට අධිරාජ්‍ය ත්‍රස්තවාදය සමත්විය. එසේ යම් ගැටළුවක් නිර්‍මාණය කලහැකි වුවහොත් තෙවනුව, එයට මැදහත්කරුවන් හෝ උපදේශකයන් ලෙස පැමිණ තම අරමුණ ඉටුකරගැනීමට යොමුවෙයි. මෙය සුඩානයේදී සාර්ථක වුවද ලංකාවේදී අසාර්ථක වූයේ ජාතික බලවේගයන් තමා ඉදිරිපිට තිබූ අභියෝගය නිසි පරිදි තේරුම් ගැනීමට සමත් වීම නිසාය. මෙබඳු අසාර්ථකවීමක් හමුවේ අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ ඊළඟ පියවර වනුයේ එක්සත් ජාතීන් වශයෙන් හඳුන්වන අධිරාජ්‍ය ත්‍රස්තවාදයේ බලල් අත මඟින් තම ත්‍රස්තවාදී අරමුණ කරා ළඟාවීමයි. මේ සඳහා යම්කිසි අකාරයේ හේතු දැක්වීමක් අවශ්‍යය ය. එනිසා අද අධිරාජ්‍ය ත්‍රස්තවාදයට ලංකාව ගොදුරුකරගැනීම සඳහා සාක්ෂි අවශ්‍ය වී තිබේ. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි සොයාගැනීම තුල ඔවුන්ගේ ඉදිරි වැඩපිලිවෙල තීරණය වේ. ඉරාකයට කාලයක සිට ඇස ගසාගෙන සිටියත් ගල්ෆ් යුද්ධය වැනි තීරණාත්මක සාක්ෂියක් එනතුරු ඔවුහු සාක්ෂි ගොනුකරගෙන සිටියහ. ඇෆ්ගනිස්ථානය සඳහා තීරණාත්මක සාක්ෂිය වූයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයයි. යමිකිසි ආකාරයකින් සාධාරණීකරණක කලහැකි බොරු සාක්ෂියක් සොයාගත හැකිනම් අධිරාජ්‍ය ත්‍රස්තවාදය ඉතාමත් දරුණු ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට ඇ‍ෆ්ගනිස්ථානය හොඳම නිදසුනකි. නමුත් එවන් තීරණාත්මක සාක්ෂියක් ලංකාවෙන් සොයාගත නොහැකි නිසා එබඳු මැදිහත්වීමක් කිරීමට අවකාශයක් නැත. එනිසා යම් යම් සුළු සාක්ෂි කීපයක් මත එක්සත් ජාතීන් හරහා අධිරාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම නවතම සැලසුමයි. මෙම ආකාරයට අධිරාජ්‍යවාදයේ ගොදුරු බවට පත්වූ රටවකට හොඳම උදාහරණය නම් නැගෙනහිර ටිමෝරයයි. එම සැලසුමේ කොටසක් ලෙස ඔවුන් තමන්ගේ රූකඩ ලවා රජයට මානව හිම්කම් චෝදනා එල්ල කිරීම දැනටම අරඹා ඇත.

අද විජාතික බලවේගවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයයි. මෙය මවාපෑමක් බව සියලු ජනතාව දන්නා නිසා සිරස ඇතුලු විජාතික ජනමාධ්‍ය වල අතුරුදහන්වීම් පිළිබඳ ප්‍රචාරයන් මහජනතාවට කන්දොස්කිරියාවක් විනා කිසිසේත්ම ප්‍රවෘත්ති නම් නොවේ. ජනතාව එම ප්‍රවෘත්ති නරඹා, අනේ අවාසනාවට ඇත්ත කතාවක් නේද කියා චැනලය මාරු කරති. නමුත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය දිගින් දිගටම අතුරුදහන්වීම් ගැන හුඹස් බියක් ජනතාවට ඇතිකිරීමට වලිකති. මෙහිදී මෙම ජනමාධ්‍යවල කාර්‍යභාරය වනුයේ ලංකාවේ ජනතාව‍ට ප්‍රවෘත්ති සැපයීමට නොව කොන්ත්‍රාත් ක්‍රමයට විජාතිකයින්ට සාක්ෂි සැපයීමයි. රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇත්නම් එය දැනිය යුත්තේ ජනතාවටයි. අද ජනතාවට දැනෙන රාජ්‍ය ත්‍රස්තවාදයක් නැත. නමුත් ත්‍රස්තවාදීන්ට නම් බොහෝදේ දැනෙමින් පවතින බව පෙනේ. අසූව දශකයේ අගභාගයේ දිනවල හයට කලින් රෑට කා නාඳුනන තුවක්කුකාරයාට බියේ නොනිදා රැය පහන්කල අයුරු ජනතාවට තාම මතක තිබේ. පාසල් යනවිට පාරේ දැවෙන මල සිරුරු දෙස නොබලන ලෙස දෙමාපියන් ඉතා තදින් අවවාද කලසැටි මගේ මතකයේ හොඳින් සටහන් වී තිබේ. පසුගිය වසර තුල සිදුවූ සිද්ධීන්ගෙන් සමන්විත සිරසේ දිනපතා පෙන්වන මිනී පෙරහැරේ සඳහන් ගානට වඩා වැඩි ගනනක් එකවර හන්දිවල පුලුස්සා දමා තිබූ යුගයක් තිබී බව ජනතාවට මතක තිබේ. එදා උගුරට එනකම් මිනී කෑ මස් වැද්දෝ අද මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගත්විට, කැලෑවකින් මල සිරුරක් සොයාගත්විට උගුර ලේ රහ වනතුරු කෑ ගසති. ඉහත මාතෘකාව ගැන තමා කරන සෑම වචනයක් වචනයක් පාසාම ලංකාවේ ජනතාවට දැනෙන්නේ ලේ ගඳ බව සමහර නායකතුමන්ලාට නොතේරේයැයි සිතිය නොහැක. නමුත් බටහිර හාම්පුතුන් නූල් අදින විට අතපය පමනක් නොව දිව ආදියද නටන නිසා ඔහුටද කරකියාගතහැකි දෙයක් නොමැත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුල සටනේ වාසිය තිබූයේ අධිරාජ්‍ය ත්‍රස්තවාදයටයි. එම අවදියේ සාම ගිවිසුම් ගැසීම‍ටත්, නිරීක්ෂකයන් මෙරට රැඳවීමටත් ඔවුනට හැකිවිය. අද සියල්ල අහෝසි වී සටනේ වාසිය අපට අත්වී තිබේ. නමුත් සටන දිනා ඇති බවට කිසිවෙකු උපකල්පනය කලහොත් එය අපි අපවම රවටාගැනීමකි. සටනේ වාසිය අද රැඳී ඇත්තේ තීරණාත්මකව සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට සමත්වීම තුලයි. ඔවුන් අපමත බලෙන් පටවන්නට හදන මතවාදය එසේ ලෙහෙසියෙන් සිල්ලර ලෙස ප්‍රතික්ෂේප කල හැක්කක් නොවේ. මෙහිදී වඩා වැදගත් වනුයේ අනතුර වටහාගැනීමත් එය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත්, ඉන්පසු ජනතාවගේ සහාය ඇතුව චෝදනා දැඩිලෙස ප්‍රතික්ෂේප කිරීමත් විනා දෙපැත්ත ෂේප් කරමින් කල්මැරීම නොවේ.

සියල්ලන්ට පසුව අවදිවීම

රෝහණ විජේවීර මහතා තම සගයන්ට කීවේ සියල්ලන්ට පෙර අවදිවන ලෙස යි. දෙවරක් ම සියල්ලන්ට ම පෙර අවදිවන්නට යෑම නිසා දෙවතාවේදී ම දහස් ගනනකට සියල්ලන්ටම පෙර නිදාගැනීමට සිදුවිය. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් සවිඤ්ඤාණික ලෙස දේශපාලන වටාපිටාව තේරුම් ගනිමින්, ඉතාමත් සක්‍රීය ලෙස තමන්ගේ භූමිකාව රඟදක්වමින් සිටී. එයට හේතුව වනුයේ රෝහණ විජේවීර මහතාට කියාදීමට හැකියාවක් නොවූ සියල්ලන්ට ම පෙර අවදිවන්නේ කෙසේද යන්න සිංහල ජාතික ව්‍යාපාරය තුලින් ජනතා විමුක්ති පෙරමුණ හා අනෙකුත් සක්‍රිය දේශපාලන බලවේගවලට කියාදීමයි. (දේශපාලන බලවේග යයි කියාගන්නා දේශපාවාදෙන බලවේග වලට මෙම න්‍යාය අදාල නොවේ. මක්නිසාද යත් ඔවුන්ගේ දේශපාලන භාවිතාව කිසිසේත්ම රටතුල මතුවන මතවාදයන්ට හා බලවේගවලට අනුව සකස් වන්නක් නොවීමයි.)

අද ලංකාව ඉතා දරුණු දේශපාලනමය හා ආර්ථිකමය අභියෝග රාශියකට මුහුනපා ඇත. දේශපාලනමය වශයෙන් ගත්කල, රට බෙදා වෙන්කිරීමටත්, ඉතා දියාරු ව්‍යවස්ථාවක් තුල රටේ ස්වෛරීභාවය දුර්‍වල කිරීමටත් ඒතුලින් බටහිරට අධිරාජ්‍යවාදී මංකොල්ලකාරයින් සඳහා අරාජික පාරාදීසයක් නිර්‍මාණය කිරීමටත් ඉතා ශක්තිමත් පෙරමුණක් ලෙස සියලු විජාතික බලවේග ක්‍රියාකරමින් සිටී. අද ජාතික ව්‍යාපාරය ඉතා නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ දේශපාලන බලවේග දෙකක් වෙයි. එකක් නම් ජාතික බලවේගයයි. අනෙක නම් විජාතික අවජාතක සංකලනයයි. විජාතික හා අවජාතක සංකලනය යනු කුමක්ද යන්නත්, එහි ව්‍යුහයත්, එහි උපක්‍රමයනුත් ඉක්මනින් හා නිවැරදි ව වටහාගැනීම තුල එය පැරදවීමේ ශක්‍යතාවය රඳා පවතී. ආර්ථික වශයෙන් ගත්කල, සියලු අංශයන් තුල විදේශ සමාගම් තමන්ගේ බලඅධිකාරය තහවරුකරගනිමින් රාජ්‍ය අංශයේ හා දේශිය පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා සේවාවන් දෙවන පෙලට තල්ලුකරමින් රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේග බවට පත්වෙම්න් සිටී. අවසානයේ රාජ්‍ය අංශය හුදෙක් සුබසාධක සේවා සැපයුම් කරුවෙක් බවට පත්වනු ඇති අතර දේශීය සමාගම් බහුජාතික සමාගම් තුලට උරාගනු ඇත.

දේශීය ආර්ථිකයක් හා ආර්ථික නිදහස ගැන කතාකරන බලවේග තවදුරටත් දිරාගිය මාක්ස්වාදී මතවාදවල වහලුන්බවට පත්වී සිටීම තුල ඔවුන් නව ආර්ථික ආක්‍රමණවල ස්වරූපය හා ඒවාගේ අරමුණු වටහාගැනීමට අසමත්වී සිටී. පෞද්ගලීකරණය වලක්වාගැනීම හා සුබසාධක සේවා දියුණුකිරීම යන සංකල්ප දශක ගනනාවත් තිස්සේ පට්ටා ගැසීම විනා ආර්ථික නිදහස උදෙසා නව සංකල්ප බිහිකරීමටත් ඒවා දියුණුකිරීමටත් දිගින් දිගටම අසමත් වුවහොත් අවසානයේ ජනතාවට ඉතිරිවනුයේ දිරාගිය රාජ්‍ය සංස්ථාවක සාඩම්බර හිමිකරුවන් වීම පමණි. උදාහරණයක් ලෙස රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයෙන් ගලවාගැනීමට අප අපමණ වෙහෙසක් දැරුවත්, මෑතක සිට ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන ජාත්‍යන්තර බැංකු සමඟ තරඟ කල හැක්කේ කෙසේද කියාවත්, ඒවායෙන් ඉදිරියේදී දේශීය ආර්ථිකයට කරණු ලබන බලපෑම ගැන අධ්‍යනය කිරීමට හෝ ඒ සඳහා ගතහැකි සාර්ථක ප්‍රතිකියාවන් කුමක් ද යන්න ගැන සැලසුම් කිරීමටත් කිසිවෙක් ඉදිරිපත් වී නැත. අද HSBC ප්‍රමුඛ ජාත්‍යන්තර බැංකු ඉතා සිග්‍රයෙන් හා තරඟකාරී ලෙස සාමාන්‍ය ජනතාව අතරට සමීපවෙම්න් සිටී. ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණයෙන් බේරාගැනීමට අප බලවත් සටනක් ගෙනගිය ද අපට අමතක වූ‍ දෙයක් නම් සියලු ජංගම දුරකථන සමාගම් පෞද්ගලික සමාගම් බවත් ඒවා ජනතාව මත අධික බරක් පටවමින් අධික ලාභ උපයන බවත් ය. සූරාකන්නා ප්‍රථමයෙන් අවදිවන බවත් අප සැමදා ඔවුන්ට පසුව අවදි වී නිදිගැට කඩමින් පරන සූත්‍රයන් ම වමාරාකන බවටත් මෙය කදිම උදාහරණයකි. සංසන්දනය කිරීමට රාජ්‍ය විකල්පයක් නොමැතිවීමත්, ප්‍රථම ජංගම දුරකථනය ම ‍‍හඳුන්වා දුනනේ එම සමාගම් නිසාත් ෂෙල් ගෑස් සමාගම සම්බන්ධයෙන් කලා සේ අඩාපාලි කීමට ජනතාව නොපෙලඹුනේ ඉහත සූරාකෑම ගැන ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති වූ බැවිනි. මොබ්ටෙල් වැනි සමාගම්වල යම්කිසි රාජ්‍ය අයිතියක් ඇතද, ඔවුන් පවා මුනිවත රකිමින් තම අයකිරීම් එලෙසම පවත්වාගෙන යන්නේ යම් යම් බලපෑම් නිසා බව ද සමහරු කියති. කෙසේවූව ද අද ලංකාව ඉතා ඉහල දුරකථන බිලක් අයකරන රටවල් කිහිපය අතරින් එකකි. ලංකා විදුලිබල සංස්ථාව පෞද්ගලීකරණයෙන් ගලවාගැනිමට වෘත්තීය සම්ති හා අනෙකුත් දේශපාලන බලවේගයන් ක්‍රියාකරගෙන යාම පැසසිය යුත්තකි. නමුත් ඉතා මෑතකදී අනුරාධපුරය හා පොලොන්නරුව දක්වාම ඉන්දියාවේ සිට විදුලිබල සැපයුමක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් කෙරිණි. ප්‍රථම අදියර ලෙස එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුවද, ඉන්පසු එය තවදුරටත් පුළුල් කෙරෙනු ඇත. ඉන්දියාව අධිරාජ්‍යවාදයේ කොටස්කරුවෙකු වූයේ ඉතා මෑතකදීය. එය ස්ථිර ව සනාථ කලේ ඇමෙරිකාව හා ඉන්දියාව අතර අත්සන් කෙරුණු න්‍යෂ්ට්ක ගිවිසුමයි. මෙය හදිස්සියේ සිදුවූවක් නොවන අතර එම කොටස් ගනුදෙනුව වසර ගනනාවක් තිස්සේ සැලසුම් කෙරුනක් වියයුතුය. නමුත් කලඑලි රැඟුමට පෙර අපට එය වටහාගත නොහැකි වූයේ තවමත් අපි පසුව අවදිවන්නන් වීම නිසාය. කෙසේවූවත් ඉන්දියාවේ මෙම විදුලිබල ආක්‍රමණය විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම හා සමාන ප්‍රථිඵල ගෙනදෙන බව අප අදම වටහාගත යුතුය. ඉන්දියාව අප හඳුනාගෙන සිටියේ අපගේ මිතුරෙකු ලෙසයි. නමුත් දැන් දැන් ඉන්දියාවේ නව උවමනාවන් තුල ඔවුන් අප තලාපෙලා දැමීමට සූදානම් වනු දැකිය හැකිය. සන්ටෙල් සමාගම ටාටා සමාගම විසින් මිලට ගැනීමත්, ඉන්දියානු සමාගම් ජංගම දුරකථන ක්ෂේත්‍රයට පිවිසීමත්, ජපන් වාහන පරයා ඉන්දියන වාහන ලංකා වෙළඳපොල ආක්‍රමණය කරමින් සිටීමත්, ඉන්දියානු ආර්ථික ආක්‍රමණයේ පියවරවල් වේ. ඉන්දියාව බැරිනම් පාකිස්තානයෙන් හෝ චීනයෙන් උදව් ගනිමු යැයි අද සමහරු පවසති. රෑ වැටුන වලේ දවල් නො‍වැටෙන ලෙසත්, කවරෙක් කවරෙකුට සැබැවින්ම හිතවත් වේද? යන සංස්කෘත කියමනත් මෙහිදී සිහිපත් කරනු වටී. චීනය මෑතදී හම්බන්තොට වරාය සෑදීටමට උදව් කිරීමට ඉදිරිපත් විය. එම ගිවිසුම් ගැන සියල්ල නොදැන සිටියත් චීනය පවා මේ සැරසෙන්නේ දාන පාරමිතාව පිරීමට නොවන බව අප වටහාගත යුතුය. හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් අනතුරුව එහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චීනය කුමන වගකීමක් හා අයිතිවාසිකමක් දරයි ද යන්න ගැන තවමත් හරිහමන් තොරතුරක් නැත. මෑතකදී මාලදිවයිනේ යුධ කඳවුරක් ඉදිකිරීමට චීනය සාකච්ඡා කල බව මෙහිදී සිහිපත් කල යුතුය.

මේ ආකාර‍යෙන් බලන විට අපි මරණ තුනක් මැද පැණිකමින් සිටින බව පැහැදිලි වේ. කල යුත්තේ කුමක්ද?

සියල්ලන්ට ම පෙර අවදිවෙමු!