Monday, March 12, 2007

සියල්ලන්ට පසුව අවදිවීම

රෝහණ විජේවීර මහතා තම සගයන්ට කීවේ සියල්ලන්ට පෙර අවදිවන ලෙස යි. දෙවරක් ම සියල්ලන්ට ම පෙර අවදිවන්නට යෑම නිසා දෙවතාවේදී ම දහස් ගනනකට සියල්ලන්ටම පෙර නිදාගැනීමට සිදුවිය. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් සවිඤ්ඤාණික ලෙස දේශපාලන වටාපිටාව තේරුම් ගනිමින්, ඉතාමත් සක්‍රීය ලෙස තමන්ගේ භූමිකාව රඟදක්වමින් සිටී. එයට හේතුව වනුයේ රෝහණ විජේවීර මහතාට කියාදීමට හැකියාවක් නොවූ සියල්ලන්ට ම පෙර අවදිවන්නේ කෙසේද යන්න සිංහල ජාතික ව්‍යාපාරය තුලින් ජනතා විමුක්ති පෙරමුණ හා අනෙකුත් සක්‍රිය දේශපාලන බලවේගවලට කියාදීමයි. (දේශපාලන බලවේග යයි කියාගන්නා දේශපාවාදෙන බලවේග වලට මෙම න්‍යාය අදාල නොවේ. මක්නිසාද යත් ඔවුන්ගේ දේශපාලන භාවිතාව කිසිසේත්ම රටතුල මතුවන මතවාදයන්ට හා බලවේගවලට අනුව සකස් වන්නක් නොවීමයි.)

අද ලංකාව ඉතා දරුණු දේශපාලනමය හා ආර්ථිකමය අභියෝග රාශියකට මුහුනපා ඇත. දේශපාලනමය වශයෙන් ගත්කල, රට බෙදා වෙන්කිරීමටත්, ඉතා දියාරු ව්‍යවස්ථාවක් තුල රටේ ස්වෛරීභාවය දුර්‍වල කිරීමටත් ඒතුලින් බටහිරට අධිරාජ්‍යවාදී මංකොල්ලකාරයින් සඳහා අරාජික පාරාදීසයක් නිර්‍මාණය කිරීමටත් ඉතා ශක්තිමත් පෙරමුණක් ලෙස සියලු විජාතික බලවේග ක්‍රියාකරමින් සිටී. අද ජාතික ව්‍යාපාරය ඉතා නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ දේශපාලන බලවේග දෙකක් වෙයි. එකක් නම් ජාතික බලවේගයයි. අනෙක නම් විජාතික අවජාතක සංකලනයයි. විජාතික හා අවජාතක සංකලනය යනු කුමක්ද යන්නත්, එහි ව්‍යුහයත්, එහි උපක්‍රමයනුත් ඉක්මනින් හා නිවැරදි ව වටහාගැනීම තුල එය පැරදවීමේ ශක්‍යතාවය රඳා පවතී. ආර්ථික වශයෙන් ගත්කල, සියලු අංශයන් තුල විදේශ සමාගම් තමන්ගේ බලඅධිකාරය තහවරුකරගනිමින් රාජ්‍ය අංශයේ හා දේශිය පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා සේවාවන් දෙවන පෙලට තල්ලුකරමින් රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේග බවට පත්වෙම්න් සිටී. අවසානයේ රාජ්‍ය අංශය හුදෙක් සුබසාධක සේවා සැපයුම් කරුවෙක් බවට පත්වනු ඇති අතර දේශීය සමාගම් බහුජාතික සමාගම් තුලට උරාගනු ඇත.

දේශීය ආර්ථිකයක් හා ආර්ථික නිදහස ගැන කතාකරන බලවේග තවදුරටත් දිරාගිය මාක්ස්වාදී මතවාදවල වහලුන්බවට පත්වී සිටීම තුල ඔවුන් නව ආර්ථික ආක්‍රමණවල ස්වරූපය හා ඒවාගේ අරමුණු වටහාගැනීමට අසමත්වී සිටී. පෞද්ගලීකරණය වලක්වාගැනීම හා සුබසාධක සේවා දියුණුකිරීම යන සංකල්ප දශක ගනනාවත් තිස්සේ පට්ටා ගැසීම විනා ආර්ථික නිදහස උදෙසා නව සංකල්ප බිහිකරීමටත් ඒවා දියුණුකිරීමටත් දිගින් දිගටම අසමත් වුවහොත් අවසානයේ ජනතාවට ඉතිරිවනුයේ දිරාගිය රාජ්‍ය සංස්ථාවක සාඩම්බර හිමිකරුවන් වීම පමණි. උදාහරණයක් ලෙස රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයෙන් ගලවාගැනීමට අප අපමණ වෙහෙසක් දැරුවත්, මෑතක සිට ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන ජාත්‍යන්තර බැංකු සමඟ තරඟ කල හැක්කේ කෙසේද කියාවත්, ඒවායෙන් ඉදිරියේදී දේශීය ආර්ථිකයට කරණු ලබන බලපෑම ගැන අධ්‍යනය කිරීමට හෝ ඒ සඳහා ගතහැකි සාර්ථක ප්‍රතිකියාවන් කුමක් ද යන්න ගැන සැලසුම් කිරීමටත් කිසිවෙක් ඉදිරිපත් වී නැත. අද HSBC ප්‍රමුඛ ජාත්‍යන්තර බැංකු ඉතා සිග්‍රයෙන් හා තරඟකාරී ලෙස සාමාන්‍ය ජනතාව අතරට සමීපවෙම්න් සිටී. ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණයෙන් බේරාගැනීමට අප බලවත් සටනක් ගෙනගිය ද අපට අමතක වූ‍ දෙයක් නම් සියලු ජංගම දුරකථන සමාගම් පෞද්ගලික සමාගම් බවත් ඒවා ජනතාව මත අධික බරක් පටවමින් අධික ලාභ උපයන බවත් ය. සූරාකන්නා ප්‍රථමයෙන් අවදිවන බවත් අප සැමදා ඔවුන්ට පසුව අවදි වී නිදිගැට කඩමින් පරන සූත්‍රයන් ම වමාරාකන බවටත් මෙය කදිම උදාහරණයකි. සංසන්දනය කිරීමට රාජ්‍ය විකල්පයක් නොමැතිවීමත්, ප්‍රථම ජංගම දුරකථනය ම ‍‍හඳුන්වා දුනනේ එම සමාගම් නිසාත් ෂෙල් ගෑස් සමාගම සම්බන්ධයෙන් කලා සේ අඩාපාලි කීමට ජනතාව නොපෙලඹුනේ ඉහත සූරාකෑම ගැන ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති වූ බැවිනි. මොබ්ටෙල් වැනි සමාගම්වල යම්කිසි රාජ්‍ය අයිතියක් ඇතද, ඔවුන් පවා මුනිවත රකිමින් තම අයකිරීම් එලෙසම පවත්වාගෙන යන්නේ යම් යම් බලපෑම් නිසා බව ද සමහරු කියති. කෙසේවූව ද අද ලංකාව ඉතා ඉහල දුරකථන බිලක් අයකරන රටවල් කිහිපය අතරින් එකකි. ලංකා විදුලිබල සංස්ථාව පෞද්ගලීකරණයෙන් ගලවාගැනිමට වෘත්තීය සම්ති හා අනෙකුත් දේශපාලන බලවේගයන් ක්‍රියාකරගෙන යාම පැසසිය යුත්තකි. නමුත් ඉතා මෑතකදී අනුරාධපුරය හා පොලොන්නරුව දක්වාම ඉන්දියාවේ සිට විදුලිබල සැපයුමක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් කෙරිණි. ප්‍රථම අදියර ලෙස එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුවද, ඉන්පසු එය තවදුරටත් පුළුල් කෙරෙනු ඇත. ඉන්දියාව අධිරාජ්‍යවාදයේ කොටස්කරුවෙකු වූයේ ඉතා මෑතකදීය. එය ස්ථිර ව සනාථ කලේ ඇමෙරිකාව හා ඉන්දියාව අතර අත්සන් කෙරුණු න්‍යෂ්ට්ක ගිවිසුමයි. මෙය හදිස්සියේ සිදුවූවක් නොවන අතර එම කොටස් ගනුදෙනුව වසර ගනනාවක් තිස්සේ සැලසුම් කෙරුනක් වියයුතුය. නමුත් කලඑලි රැඟුමට පෙර අපට එය වටහාගත නොහැකි වූයේ තවමත් අපි පසුව අවදිවන්නන් වීම නිසාය. කෙසේවූවත් ඉන්දියාවේ මෙම විදුලිබල ආක්‍රමණය විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම හා සමාන ප්‍රථිඵල ගෙනදෙන බව අප අදම වටහාගත යුතුය. ඉන්දියාව අප හඳුනාගෙන සිටියේ අපගේ මිතුරෙකු ලෙසයි. නමුත් දැන් දැන් ඉන්දියාවේ නව උවමනාවන් තුල ඔවුන් අප තලාපෙලා දැමීමට සූදානම් වනු දැකිය හැකිය. සන්ටෙල් සමාගම ටාටා සමාගම විසින් මිලට ගැනීමත්, ඉන්දියානු සමාගම් ජංගම දුරකථන ක්ෂේත්‍රයට පිවිසීමත්, ජපන් වාහන පරයා ඉන්දියන වාහන ලංකා වෙළඳපොල ආක්‍රමණය කරමින් සිටීමත්, ඉන්දියානු ආර්ථික ආක්‍රමණයේ පියවරවල් වේ. ඉන්දියාව බැරිනම් පාකිස්තානයෙන් හෝ චීනයෙන් උදව් ගනිමු යැයි අද සමහරු පවසති. රෑ වැටුන වලේ දවල් නො‍වැටෙන ලෙසත්, කවරෙක් කවරෙකුට සැබැවින්ම හිතවත් වේද? යන සංස්කෘත කියමනත් මෙහිදී සිහිපත් කරනු වටී. චීනය මෑතදී හම්බන්තොට වරාය සෑදීටමට උදව් කිරීමට ඉදිරිපත් විය. එම ගිවිසුම් ගැන සියල්ල නොදැන සිටියත් චීනය පවා මේ සැරසෙන්නේ දාන පාරමිතාව පිරීමට නොවන බව අප වටහාගත යුතුය. හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් අනතුරුව එහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චීනය කුමන වගකීමක් හා අයිතිවාසිකමක් දරයි ද යන්න ගැන තවමත් හරිහමන් තොරතුරක් නැත. මෑතකදී මාලදිවයිනේ යුධ කඳවුරක් ඉදිකිරීමට චීනය සාකච්ඡා කල බව මෙහිදී සිහිපත් කල යුතුය.

මේ ආකාර‍යෙන් බලන විට අපි මරණ තුනක් මැද පැණිකමින් සිටින බව පැහැදිලි වේ. කල යුත්තේ කුමක්ද?

සියල්ලන්ට ම පෙර අවදිවෙමු!

1 comment:

Anonymous said...

We name our shanties after KOREA, because Korea was a poor country 40 years back. Korea did pass us because they walk up before us. Many other countries walked up to run fast and they have succeeded. When looking at the post I feel many of us including the person who published the post are still fast asleep and dreaming. Sweet dreams!