Saturday, January 16, 2010

මහින්දට කලගුණ සලකමු


අප සමාජයේ ගැඹුරින් කාවැදී ඇති ගුණදහම් හා විශ්වාසයන් අනාගත සමාජය සකස්කිරීමෙහි ලා අතිශය වැදගත් මෙහෙවරක් ඉටුකරයි. කලගුණ සලකමු යන්න එවැනි අතිශය වැදගත් ගුනාංගයකි. මා කුඩා කාලයේ පාසලේත් දහම් පාසලේත් කුමන ආකාරයේ හෝ සමිතියක, රැස්වීමක කතාවක් පැවැත්වීමට සිදුවුවහොත් මා තෝරාගත් මාතෘකාවන් අතර මුලින් ම තිබුනේ කලගුණ සැලකීමයි. තමාට සෙවණ දුන් බෝ රුකට පවා බුදු හිමියන් කලගුණ සැලකූ ආකාරයත්, එක්වරක් හෝ කෑමවේලක් ලබාදුන්නොත් බල්ලන් පවා නගුට වැනීමෙන් හෝ කලගුණ සලකන ආකාරයත් මා එහිදී උදාහරණයට ගන්නා ලදී.

කළගුණ සැලකීමේ ප්‍රථම පාඩම මහින්ද ඉගැන්වූයේ මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි යුගලයටයි. මහින්ද දිනවීම සඳහා රූපවාහිනී නාලිකා වල මැදියම වනතුරු එම දෙපල තර්ක කල සැටි අපට මතකය. මහින්ද-මංගල විරසකයට හේතුව මහින්ද තම සහෝදර බැසිල්ට උපදේශකයෙක් ලෙස අනවශ්‍ය ප්‍රමාණයට බලතල දී, ඇමතිවරුන්ටත් බලපෑම් කලහැකි තත්වයට ගෙන ආ නිසා බව නොරහසකි. මංගල රජයෙන් නික්ම යාමෙන් පසු ඔහුගේ කල්ක්‍රියාව අප අනුමත නොකලද තමා වෙහෙසවී පත්කරගත් ජනපති යටතේ ඇමති ධූරයක් ලැබූපසු ජනපතිගේ මල්ලීගේ දෙපතුල් වන්දනාමාන කිරීමට සිදුවූම තුලින් ඔහු මුහුණ පෑ අකරතැබ්බය අපට පැහැදිලි ය. මංගලගේ නික්මයාමෙන් පසු සෙසු ඇමැතිවරුන් මංගලට සිදුවූ අපරාධය තුලින් ඉතා හොඳ පාඩමක් ඉගනගත් බව පැහැදිලිය. නාම මාත්‍රික ඇමතිවරුන් වී සිටිමින් බැසිල්ගේ පදයට නැටීම තුලින් පමණක් තමන්ගේ ඇමති ධූරය රැකගත හැකි බව ඔවුන් තේරුම් ගෙන සිටී.

කලගුණ සැලකීමේ පොඩ් පොඩි පාඩම් මහත් රාශියකින් පසු මහින්ද ඊළඟට රටටම දැනෙන සේ කලගුණ සැලකුවේ ජනතා විමුක්ති පෙරමුණටයි. එවකට සිටි ජනපතිනිය ඇතුලු පක්ෂයේ බහුතරය තමා දිනවීමට ක්‍රියා නොකල බව මහින්ද හොඳින් දනී. මහින්දගේ ඡන්ද ව්‍යාපාරයේ බර බොහෝදුරට ඇද්දේ ජනතා විමුක්ති පෙරමුණයි. ජයග්‍රහණයෙන් පසු තමාගේ න්‍යාය පත්‍රයට ක්‍රියාකිරීමට එම පක්ෂය එකඟනොවූ නිසා එලෙස තමන්ට අවනත කොටසකට වරප්‍රසාද දීමෙන් එම පක්ෂය දෙකට කැඩීමට මහින්ද ක්‍රියාකලේය.

මහින්ද කලගුණ සැලකීමේ ලොකුම පාඩම ඉගැන්වූයේ සරත් ෆොන්සේකාට යි. මහින්දගේ පාලන කාලය තුල ඔහු කල වැදගත් දේ අතර ප්‍රමුඛතම කාර්‍යය වන්නේ තිස් වසරක් පැවති යුද්ධය තුන් වසරකින් නිමකිරීමයි. ඒ කාර්‍යෙයහි ලා ඔහුට මහත්ම පිටුබලයක් වූයේ මහින්දගේ සෙන්පති සරත් ෆොන්සේකාගේ කැපවීමයි. නමුත් යුද්ධය නිමවී මාසයක් යන්නටත් පෙර නාවික හමුදාවේත්, යුධ හමුදාවේත් නායකත්වය වෙනස්කිරීම තුලින් මහින්ද ඔවුන් ට දුන්නේ වැඩේ කර දුන්නාට පසු මට උඹෙන් වැඩක් නෑ යන පණිවිඩයයි. ජනරාල් දේශපාලනයට පිවිසීමත් සමඟම ඔහුට ආරක්ෂාව ලබාදීම දිගින් දිගටම මඟහැරීම, මර්වින් වැනි පාදඩයන් දමා අතිපූජනීය කැළණි විහාරයේදී ඔහුට අවමන් කිරීම වැනි ආකාරයට ජනරාල්ට කලගුණ සැලකීමට මහින්ද ක්‍රියාකරන ලදී. ජනරාල් අද එකතුවී සිටින සමහර දේශපාලන බලවේග ඇත්තුඩුවගේ දේශපාලන දැක්මත් සමඟ කිසිසේත් ම පෑහෙන්නේ නැතත්, ජනරාල් ඔවුන් ට එකතු වීමට වඩා සිදුව ඇත්තේ නිර්පාක්ෂික ජනරාල් වටා ඔවුන් එකතුවීම බව තේරුම් ගතයුතුය. එනිසා ජනරාල් ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති සැම එකක්ම පිලිගන්නා බව අපට අනුමාන කල නොහැකිය. ඉදිරි කාලයේදී මහින්ද තව කිහිප වතාවක් ජනරාල්ට කලගුණ සැලකීමේ පාඩම උගන්වනු ඇතැයි යන්න අපගේ හැඟීමයි.

සියල්ල මෙසේ තිබියදී මහින්දගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ජනප්‍රිය සටන් පාඨයක් වන්නේ කල “කලගුණ සලකමු” යන්නයි. මහින්ද අන් අයට කලගුණ සැලකූ ආකාරයට ඔහුටත් කලගුණ සැලකීමට ගුණ දහම් අගයන සිංහල ජනතාව ජනවාරි 26 වැනිදාට ක්‍රියාකරනු ඇතැයි ඇත්තුඩුවගේ විශ්වාසයි.

No comments: