Saturday, January 16, 2010

ජාතික බලවේගය පතන නායකයා කවුද?


ජාතික බලවේගය යනු කුමක්ද? ජාතික බලවේගය යනු එක් දේශපාලන පක්ෂයක් නොවේ. සිංහල ජාතියේත්, බෞද්ධාගමේත් උන්නතියත් චිරස්තිථියත් සඳහා කැපවූ සෑම දේශපාලන පක්ෂයකම, සෑම සංවිධානයකම, සෑම නගරයකම, සෑම ගමකම ඉන්නා ඔබ අප සියලු දෙනා ජාතික බලවේගයේ කොටස්කරුවෝ ය. පසුගිය දශක කිහිපය තුල ජාතික බලවේගවල අරමුණ වූයේ ජාතික බලවේගවලින් ගිලිහී තිබූ රටේ නායකත්වයත් දේශපාලන සමාජ ආර්ථික බලයත් නැවතත් ජාතික බලවේගවලට නතුකර ගැනීමයි. මෙහිදී ජාතික බලවේග ක්‍රියාකල ආකාරයත්, ජාතික බලවේගවල වත්මන් ක්‍රියාකාරීත්වයත්, එහි අනාගත මාවතත් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

ජාතිය ගැන කතාකිරීම අපරාධයක් වන තරමට ජාතිකත්වය හෑල්ලුවට ලක්කිරීමේ විජාතික උවමනාව සපුරාලමින් ජාතියේ සතුරන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමේ උචිඡම අවස්ථාව එළඹුනේ චන්ද්‍රිකාගේ හා රනිල්ගේ පාලන කාලයන් තුලයි. ජාතික බලවේගවල නැගීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමුවේ ගුණදාස අමරසේකර මහතා හඳුනුවාදී නලින් ද සිල්වා මහතා විසින් සමාජගත කරන ලද ජාතික චින්තනය යි. ජාතික චින්තනය හරහා ජාතිකත්වය සමාජගතවනු දුටු දේශපාලන බලවේග සෘජුව ම හා වක්‍රාකාරයේන් ජාතික ච්න්තනය හා සමගාමී අදහස් පිලිගනිමින් ජාතිකත්වය දේශපාලනය තුලට එන්නත් කරවීය. ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයත්, එහිම විකාශනයන් වූ සිහළ උරුමය, හෙළ උරුමය තීරණාත්මක ලෙස ජාතිකත්වය ලාංකීය දේශපාලන තුල ඉදිරි පෙල ක්‍රීඩකයෙක් බවට පත්කලේය. යල්පැනගිය මාක්ස්වාදී මඩගොහොරුවේ එරී වික්‍රමබාහුලා සමඟ එකපතේ කමින් සිට් ජනතා විමුක්ති පෙරමුණ සැනෙකින් නව ප්‍රවනතාවය අවබෝධ කරගනිමින් සිහළ උරුමයේ සටන් පාඨ කොපිකරමින් ජාතික බලවේගවල නියමුවා බවට පත්විය. සිහළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ වල ලබාගත් ජයග්‍රහණ වල මූලික පදනම වූයේ ජාතික බලවේගයි. ජාතිද්‍රෝහී ගමන්මගේ අන්තයටම ගමන්කිරීමේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අධිශ්ඨානය දුටු ජාතික බලවේග කොන්දේසි විරහිතව එකමුතුව එය පරාජය කිරීමට මගක් සොයමින් සිටියදී විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ පත්විය. මහින්ද රාජපක්ෂ කිසිදා ජාතික බලවේග නියෝජනය කල නායකයකු නොවූවා සේම ඒ බව ජාතික බලවේග ද හොඳින් ම දැනසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවක නායිකාවත් එවකට ජනපතිනියත් වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එම පක්ෂයේ ප්‍රබලයන්ගේ සහයත් මහින්දට ලැබුනේ නැත. ඒකරාශී වූ ජාතික බලවේග රටේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කරගැනීමටත් මහින්ද ලවා ජාතික බලවේගවල න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරගැනීමටත් සැලසුම් කලේය. මෙහිදී මහින්ද රාජපක්ෂත්, ජාතික බලවේගත් වටහා ගතයුතු ප්‍රධාන කරුණක් නමි තාවකාලික ලෙස ජාතික බලවේග මහින්ද තෝරා ගත්තේ රටේ නායකයා ලෙස විනා ජාතික බලවේගවල නායකයා ලෙස නොවන බවයි. ජාතික බලවේග විසින් සකස් කරන ලද න්‍යාය පත්‍රය මහින්ද චින්තනය ලෙස නමිකර ජාතික චින්තනය මහින්ද නම් පුද්ගලයාට ආරූඩ කිරීම ජාතික බලවේග විසින් මුලින් ම කරගන්නා ලද වරදකි. අවසානයේදී මෑත ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික බලවේගවල නියෝජිතයෙක් රටේ නායකත්වයට ගෙන ඒමට ජාතික බලවේග සමත් විය.

ජාතික බලවේගවල න්‍යාය පත්‍රයේ මුලින් ම තිබුණු යුද්ධය ජයග්‍රහණය කිරීමේ අරමුණ අති සාර්ථක මහින්ද ලවා ක්‍රියාත්මක කරවාගැනීමට ජාතික බලවේග සමත් විය. මෙය සිංහල ජාතිය තමන්ගේ සමස්ත යුධ ඉතිහාසය තුල කල දරුණුතම යුද්ධය හා ලබාගත් ඉහලම ජයග්‍රහණය බව ඇත්තුඩුවගේ අදහසයි. මීට පෙර කල යුද්ධ හා සියලු සටන් වලදී මුහුණදුන් සතුරන් ට සාපේක්ෂව මෙවර අප පරාජය කල සතුරා අති විශාලය. දෙමළ ජාතිවාදයත්, එහි ඉන්දියානු හවුල්කාරයනුත්, බටහිර කොල්ලකාරී අධිරාජ්‍යවාදීනූත්, ඊනියා ජගත් සන්ධානයත් ඇතුලු අති විශාල සතුරු බලමුලුවක් එකට තබා පරාජය කිරීමට අපි සමත්වීමු. එම ජයග්‍රහණයේ සැබෑ අයිතිය හිමිවන්නේ එම ජයග්‍රහණය උදෙසා මතවාදීව ජනතාව සන්නද්ධ කර එම මතය දේශපාලනයට කාවද්දා යුධ ජයග්‍රහණය උදෙසා කැපවෙන බවට පොරොන්දු කරවාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත්කර ඉන්පසු යුද්ධය අතරතුර එයට ජනතාවගේ කැපවීම දිගටම ලබාදීමට ක්‍රියාකල ජාතික බලවේගයටයි. යුද්ධයේ දිනුවේ යුධභූමියේ දැල්වූ වෙඩි උණ්ඩය නිසා යැයි කියතොත් එය සත්‍යයකි. නමුත් අපට එතැනින් නතරවිය හැකි නොවේ. යුධ ජයග්‍රහණයට පාදක වූයේ යුධ හමුදායේ නිවැරදි නායකත්වය බවද සත්‍යයකි. එතැනින්ද අපට නතරවිය හැකි නොවේ. නිවැරදි දේශපාලන නායකත්වය යුධ ජයග්‍රහණය හිමිකරදුන් බවද සත්‍යයකි. එතැනද අවසාන තැන නොවේ. දශක කිහිපයක් තිස්සේ මුහුකුරා වැඩී ආ ජාතික බලවේගය මෙම ජයග්‍රහණයේ මුල් පුරුක බව අප වටහා ගත යුතුය. එනිසා යුද්ධය දිනාදුන්නේ ජෙනරාල් ද මහින්ද ද යන ප්‍රශ්ණය අසන්නෝ අතිශය ලාමක මනසකින් ලෝකය වටහා ගැනීමට උත්සාහ ගනිති. මෙම යුද්ධය දිනුවේ ජාතික බලවේගයයි. මහින්ද හා සරත් ෆොන්සේකා යනු ජාතික බලවේග විසින් ඒ සඳහා තෝරාගත් පුද්ගල චරිත දෙකක් පමණකි.

මහින්ද ජනාධිපති වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ, දෙශහිතෛශී ජාතික ව්‍යාපාරය, හෙළ උරුමය ආදී ජාතික ව්‍යාපාරයේ කොටස්කරුවෝ මතවාදීවත් ක්‍රියාකාරීවත් මහින්දට සහයෝගය දෙමින් යුද්ධය අවසානය තෙක් එය ඇදගෙන යාමට ක්‍රියාකලෝය. මහින්ද තමාගේ පදයට පමණක් නැටිය යුතුයි සිතාසිටි ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් මහින්දගේ යම් යම් තීරණ හා ක්‍රියාකාරකම් නිසා නොසතුටට පත්ව මහින්දට සහාය දීම අවම කලෝය. කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා යන කියමන සිහිකරමින් මහින්ද සිතුවේ ලබාගනිමින් සිටින සියලු ජයග්‍රහණ වලට හේතුව තමාගේ පෞද්ගලික හැකියාව බවයි. එනිසා දුරදිග නොබලා විමල් වීරවංශ ඇතුලු නම්‍යශීලී හා ජාතිකත්වයට වඩාත් නැඹුරු කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණෙන් ගලවා තමාගේ පිලට ඈඳාගැනීමට ක්‍රියාකිරීමෙන් ඒකරාශී වූ ජාතික බලවේග කැබලි කිරීමේ ක්‍රියාවලිය ඔහු ඇරඹීය. ජාතික බලවේග සියල්ල ඉවසා සිටියේ කොක්කෙන් හෝ කෙක්කෙන් යුද්ධය ජයගත යුතුවූ බැවින් විනා අල්ලස, දූෂණය, පවුල්වාදය ආදී මහින්දගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් අනුමත කරන නිසා නොවේ. යුද්ධය දිනීම ස්ථිර වනු දුටු මහින්ද ඉන්පසු කල්පනා කලේ තමා නියෝජනය කරන ජාතික බලවේගවල න්‍යාය පත්‍රයේ ඊළඟ අරමුණු ඉටුකරගැනීම ගැන නොවේ. ඒ වෙනුවට ඔහු කල්පනා කලේ දීර්ඝ කාලීන ලෙස රටේ දේශපාලන බලයත් ආර්ථික බලයත් තම පවුලට නතුකරගන්නේ කෙසේද යන්නයි. යුධ ජයග්‍රහණය තමාගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනැගීමට භාවිතා කරමින් ඉහත අරමුණු ලඟාකරගැනීම මහින්දගේ න්‍යාය පත්‍රය වීය. ජාතික බලවේග මෙම ප්‍රවණතාවය නිවැරදි ව තේරුම් ගත්තද එයට සාර්ථක පිලිතුරක් සොයාගැනීමට එය තවමත් අසමත් වී සිටී.

තමාට කිසිදු තරඟයක් නැතිබව තේරුම්ගත් මහින්ද ජාතික බලවේගවලට පයින් ගසා තමාගේ ආත්මාර්ථකාමී උවමනාවන් සපුරාගැනීමට ක්‍රියාකරනු දුටු සතුරු බලවේග ඔහුගේ මෙම දුර්වල කම ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලවාම ජාතික බලවේක දෙකඩ කිරීමේ ක්‍රමන්ත්‍රණ දියත් කරවීය. සරත් ෆොන්සේකා ට පල නොකියා පලා බෙදීමට හේතුව ඉන්දියානු ඔත්තු සේවය මගින් මහින්ද කඩේ යැවීම නිසා සිදුවූවක් බව සමහරුන්ගේ මතයයි. සරත් ෆොන්සේකාට සැලකූ ආකාරය දුටු ජාතික බලවේගවල බහුතරයක් තේරුම් ගත්තේ තවදුරටත් මහින්ද එහි නියෝජිතයා නොවන බවයි. සරත් ෆොන්සේකා ජනාධිපති කිරීම හා බැඳුනු විධිමත් සැලසුමක් ජාතික බලවේගයන්ට නොමැති වීමත් ඔහු වටා සිටින ජාතික බලවේගයේ හතුරන් සමඟ පෑහීමට ඇති අකමැති කමත් නිසා මහින්ද සමඟ තවමත් සිටියද තවදුරටත් මහින්ද ජාතික බලවේගයේ අරමුණු ඉටු නොකරන බව ජාතික බලවේග තේරුම්ගෙන හමාරය. ජාතික බලවේග තමාගේ තීරණාත්මක අභියෝගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද මුහුණපා ඇත්තේ සැලැස්මක් නොමැති අවිනිශ්චිත තත්වයකටයි. මහින්ද හෝ සරත් දෙදෙනාගෙන් කිසිවෙකු ජාතික බලවේගවල න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව පැහැදිලිය. මහින්ද නැවත පත්වුවහොත් ජාතික බලවේග වල බෙදීම තවදුරටත් වැඩිවනු ඇති බවත් කොටසක් මහින්දගේ පවුල්වාදී දේශපාලන සැලසුමේ කොටස්කරුවන් වන බවත් අනෙකුත් කොටස් අරමුණක් නැතිව වෙන් වෙන්ව ක්‍රියාකරනු ඇති බවත් පැහැදිලිය. සරත් ෆොන්සේකා පත්වුවහොත් සිදුවිය හැකි දේ කිහිපයක් වෙයි. හමුදා පාලනයක් ඇතිවීම ඇතිවිය හැකි දරුණුම තත්වයයි. මේ සඳහා ඇති ඉඩකඩ ඉතාමත් සීමිතය. දෙවනුව දේශපාලන මඩගොහොරුවෙන් පිටස්තර නායකයෙකු රටට ලැබීම තුලින් සියලු දේශපාලය කණ්ඩායම් වල එකඟතාවයක් ලබාගෙන නව මාවතකට රට යොමුවීමට ඉඩ ඇත. තුන්වෙනුව සරත් ෆොන්සේකා ජාතික බලවේගවල සතුරන් සමඟ එක්වී ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාකිරීමට ඉඩඇත. මෙය නැවත වතාවක් මහින්ද බලයට පත්වීමට වඩා යහපත් වන්නේ ඒ තුලින් ජාතික බලවේග නැවතත් එකරාශී වීම සිද්ධවන බැවිනි.

වැරදි මඟක යම් දුරක් ගියහොත් නැවතත් හරි මඟට ඒමට එම දුරම ආපසු ඇවිද ආ යුතුය. නිවැරදි මග නොදැනීම මඟ වැරදි බව දැන දැන වැරදි මඟේ ගමන් කිරීමට හේතුවක් නොවේ. නිවැරදි මඟ නොදත්තද නැවතත් මුලටම පැමිණීම නිවැරදි මඟ සොයායෑම ඉක්මන් කරයි. එනිසා මේ තීරණාත්මක අවස්ථාවේ ජාතික බලවේග තමන්ගේ පරාජය පිලිගෙන මඳක් පසුබැස නැවත සන්නද්ධ විය යුතුය. ජාතික බලවේගවල දීර්ඝකාලීන අරමුණු කරා යෑමේදී කෙටි කාලීන වෙනස්කම් එතරම් ප්‍රමුඛ කරගත යුතු නොවේ.

3 comments:

Anonymous said...

කවුද කියන්නේ මෙයාට පැත්තක නැහැ කියලා. මෙයා ඉන්නේ සරත් ගේ පැත්තේ. පැත්තක් ඇතිව උනත් ඇත්තක් කියන්න පුළුවන්. නමුත් දැක්මම, ඇත්තම වෙන්න සෑම විටම ඉඩ නැහැ.

ඇත්තුඩුව said...

ඔබ හරි. ඇත්තුඩුවගේ විශ්වාසය පැත්තක් ගන්නේ නැතිව ඇත්තක් කිව නොහැකි බවයි. එනම් පැත්තක් නැතැයි කියන මධ්‍යස්ත මතධාරීන් පවා කාගේ හෝ පැත්තක් ගන්නා බවයි. පැත්තක් නැති ඇත්තක් නැත යනුවෙන් මා අදහස් කරන්නේ එයයි. මේ ලිපිය ලිවීමේදී මා ගත්තේ ජාතික බලවේගවල පැත්තයි. ලිපියෙන් පැහැදිලි කරන්නේ ජාතික බලවේග සරත් ගේ පැත්ත ගතයුතු බවයි. එසේනම් මා ද මේ ලිපිය ලියන අවස්ථාවේදී සිටියේ සරත් ගේ පැත්තේ බව එයින් ගම්‍ය වේ. එනිසා ඔබගේ නිගමනය සියයට සියයක් නිවැරදි ය.

ඔබගේ දෙවන මතයද ඉතා නිවැරදියි. ඇත්තුඩුව ඉතා තදින්ම විශ්වාස කරන දෙයක් නම් යමෙකුගේ අදහසක් නිසා අන් අදහස් නිෂේද නොවන බවයි. එසේම යම් අදහසක් ප්‍රකාෂ කල පමණින් එයට ප්‍රතිවිරුද්ධ අදහස් වැරදි බව ඇදහීම නොකලයුතුය. මා බොහෝවිට කරන්නේ යම් පදනමක පිහිටා කරුණු ගොනුකිරීම තුලින් මෙතෙක් නොදුටු මානයන් ගවේශණය කිරීමයි. එනිසා වෙනත් කරුණු සමූහයක් එකට ගොනුකිරීම තුලින් මීට වඩා බෙහෙවින් වෙනස් නිගමනයන්ට එළඹිය හැකියි. එනිසා නිරපේක්ෂ වශයෙන් ඇත්ත යැයි කිවහැකි කිසිත් නොමැත. (චතුරාර්ය සත්‍ය වැනි දේ හැර). නමුත් ඇත්ත සාපේක්ෂ නිසා පැත්තක් ගෙන ඇත්ත විමසා බැලිය යුතුය.

Anonymous said...

ප්‍රභාකරනුත් තාමත් මැරෙන්නෙ නැතුව හිටිය නම්, දකුනෙ තව බෝම්බ ටිකක් එහෙම පිපිරුනා නම්, ජාතික බලවේග තවත් හොඳට එකතු වෙලා තියෙයි නේද? අපරාදෙ ප්‍රභා මරා ගත්තෙ.

දැං වත් මොළේ පහල උනු එකේ, මුලින් මහින්ද පරද්දලා, ඊලඟට ජවිපෙට කොන්ත්‍රාත් එකක් දෙමු හෙළ උරුමෙටයි පුලුවන් නම් දිනේශ් ටයි ගේම දෙන්න. එතකොට ජාතික බලවේග වලට හොඳට විවේකීව සන්නද්ධ වෙන්න පුලුවන්, විජාතික බලවේග ආණ්ඩුවක් කර කර ඇන ගන්න අතරෙ. අර ජවිපෙ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනයට කෙලවලා, ඊලණ්ඝට රස්සා නැති උන් එක්ක පෙලපාලි යනව වගේ, අපිටත් රටට කෙල උනාට පස්සෙ ජාතික බලවේග නියමෙට මාකට් කරන්න පුලුවන් වෙයි. ඔයාගෙ මොළේ තමයි මොළේ.