Monday, February 01, 2010

ඉඩි අමීන්


අපේ රටේ ඉඩි අමීන් කවුදැයි ඇසුවොත් ඔබ දෙන පිලිතුර කුමක්ද? ඉඩි අමින් වැන්නෙක් ලංකාවේ කිසිදා නොසිටිය ද ඊට ලංවිය හැකි නායකයෙක් සිටියේ නම් ඒ ප්‍රේමදාස මහතායි. මර්ධනයත්, භීෂණයත්, ඝාතනයත් ඔහුගේ දේශපාලන භාවිතයේ මූලික අංග විය. ජනපතිවරන සමයේ ෆොන්සේකා මහතාට ඉඩි අමීන් යන ලේබලය ඇලවීමට ආණ්ඩුව කටයුතු කලේය. කොටින් ම කියතොත් ඉඩි අමින් සම්බන්ධ චිත්‍රපට පවා රූපවාහිනියේ පෙන්වීය. එසේ පෙන්වන අතර මහින්ද අති පිරිසිදු සංවේදී ධාර්මික චරිතයකට පණ පෙවීය. නමුත් ප්‍රේමදාසත් මහින්දත් සලකා බලන අල ඔවුන් මෙතෙක් ආ මගෙහි එතරම් වෙනසක් ඇති බවක් නොපෙනේ. ඉදිරි මගේ ද වැඩි වෙනසක් දක්නට ලැබේයැයි අපේක්ෂා කල නොහැක. ඉඩි අමීන්ට වඩා සමීප කවුදැයි තේරුම් ගතහැක්කේ යමෙකුගේ ක්‍රියාකාරකම් සලකා බලා විනා ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති දෙස බලා නොවේ. එනිසා ප්‍රේමදාසගේත් මහින්දගේත් සමානකම් මඳක් සලකා බලමු. බොහෝ දේශපාලකයන්ට පොදු වූ සමානකම් මෙහිදී සලකා නොබැලෙන අතර මොවුන් දෙදෙනා අතර වන විශේෂ සමානකම් පමණක් සලකා බැලේ.

මෙතෙක් කල් ආ මග
• දෙදෙනාම දකුණෙන් ආ අයයි.
• ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය උරුමවූ පවුලකින් පිටස්තරව දේශ පාලනයට පැමිණීම.
• දුප්පත් සාමාන්‍ය ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීම.
• තමන්ට හා තම පවුලට නොතිබූ ප්‍රභූත්වයක් ආරූඩ කරගැනීමට දැඟලීම. (ප්‍රේමදාස මවුගම හා පියගම නමින් ගම් පවා සාදවා තම දෙමාපියන්ට නොතිබූ ප්‍රභූත්වයක් ආරූඩ කලේය. මහින්ද, බණ්ඩාරණායක සමරු දේශණය කොපිකරමින් ඩී. ඒ. රාජපක්ෂ සමරු දේශණ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහිම පවත්වයි.)
• අනුකම්පා විරහිත ලෙස සතුරා පරාජය කිරීම හා ඒ තුලින් වෙනත් අභිමතාර්ථ ද ඉටුකරගත්තේය. (ප්‍රේමදාස ලෙයින් හා ගින්නෙන් 89 භීෂණය නිමකලේය. ඒ අතරම බොහෝ විරුද්ධවාදීන් ද මරා දැමීය. මහින්ද යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කල අතර දේශපාලන ජයග්‍රහණ සඳහා එය මැනවින් යොදාගත්තේය. එසේම එල්ටීටීඊයේ මූල්‍ය සම්පත් තමා සතු කරගත් බවටත් විශ්වාස කරයි.)
• තමන්ට පෙර වූ තම පක්ෂයේ නායකයන්ගේ කෙණෙහිලිකම් මැද කෙසේ හෝ බලයට ඒමට සමත්විය. (ජේ ආර් ප්‍රේමදාසට නායකත්වය දුන්නේ නොදී බැරිකමටයි. චන්ද්‍රකා මහින්දට කලේද එයයි.)
• බලවත් රටවල විරෝධයට පිටුපා ජාත්‍යන්තර වශයෙන් අභීත තීරණ ගැනීම. (ප්‍රේමදාස ඉන්දියන් හමුදාව ගෙදර යැවූ අතර මහින්ද ජාත්‍යන්තර විරෝධය නොතකා යුද්ධය අවසන් කලේය.)
• රජයේ ජනමාධ්‍ය භා අනෙකුතු රාජ්‍ය සම්පත් භාවිතා කොට සුචරිතවාදී පෞද්ගලික ප්‍රතිරූපයක් ගොඩනගාගැනීමට ක්‍රියාකිරීම. (ප්‍රේමදාසගේ සුචරිත ව්‍යාපාරය හා මල් වට්ටිය. එදා සෑම කොපි පොතකම මුල් පිටුවේ ඇතුලට ආර් ප්‍රේමදාස ශූරීන් ලිවූ ආදර්ශමත් කවියක් විය. මහින්ද ගේ සංවේදී නායකත්වය)
• මාධ්‍ය මර්ධනය. (ප්‍රේමදාස යුගයේ තරම් විකල්ප පුවත්පත් පලවූ වෙනත් යුගයක් නැත. රජයේ මාධ්‍ය රිසිසේ දුරාචාරයේ යෙදවීමත් අනෙකුත් මාධ්‍යවලට බලපෑම් කිරීමත් එයට මුල්වූ හේතූන් අතර වේ. රිචඩ් ද සොයිසා, ඞඞඞ ඇතුලු මාධ්‍යෙව්දීන් ගනනාවක් මරා දැමිණි. මහින්ද රාජ්‍ය මාධ්‍ය මර්වින් ලවා බියවද්දා අනෙකුත් මාධ්‍ය එකින් එක තලාපෙලා දමමින් සිටී. ලසන්ත වික්‍රමතුංග වැනි ප්‍රසිද්ධ ජනමාධ්‍යෙව්දීන් ඝාතනය විය.)
• විපක්ෂය අතිශය දුර්වල අඩියකට ඇද දැමීය. (එදා ප්‍රේමදාසට විරුද්ධව සිටියේ ජේ. ආර් කිහිපවිටක්ම පැරදවූ සිරිමාවෝ මැතිනියයි. මහින්දට විරුද්ධව විපක්ෂය මෙහෙය වූයේ එලෙසම පරාජිත දේශපාලනයකට උරුමකම් කී රනිල් වික්‍රමසිංහයි.)
• වමේ දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ ඔසී ප්‍රේමදාසගේ හොරණෑවක් වූවා සේම විමල් මහින්දගේ ප්‍රධාන හොරණෑව බවට පත්විය.
• තමා යටතේ සිටි ප්‍රධානතම හවුල්කරුවන් තමාට විරුද්ධව පෙරමුණු ගත්තේය. (ප්‍රේමදාස ආණ්ඩුවේ ප්‍රධානතම ඇමති ධූර හෙබවූ ජේ. ආර්ගේ කාලයේ සිට ආරක්ෂක ඇමති වූ ඇතුලත්මුදලිත්, මහවැලි ඇමති ගාමිණී දිසානායකත් ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආවේය. ආරක්ෂක ඇමති ලෙස ඇතුලත්මුදලි 89 භීෂණය නිමාකිරීමට මහත් මෙහෙයක් කලේය. තමා ජනාධිපතිවරනයෙන් ජයග්‍රහකිරීමට උදව්කල මංගල ශ්‍රීපති, ජවිපෙ මහින්දට විරුද්ධ වූ අතර ඔහුට යුද්ධය නිමකිරීමට උදව් කල ප්‍රධානම චරිතය වූ ඔහුගේ සෙන්පති ෆොන්සේකා මහින්දට විරුද්ධව දේශපාලනයට ආවේය.)
• ප්‍රධාන වන්ද්භට්ටයා වශයෙන් හඩ්සන් සමරසිංහ කටයුතු කරයි.
• ජ්‍යොතිශය ගැන ඉතා තදබල විස්වාසයක් තබා කටයුතු කරයි. (ප්‍රේමදාස කන්‍යාවන් සත්දෙනෙකු ලවා නාවාගත් අතර ඇහිබැම පවා මුඩුකලේය. මහින්ද ජ්‍යෝතිශය මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් බවටද පත්කරගත්තේය.)
• සංවර්ධන ව්‍යාපාර වලට අතිශය ප්‍රසිද්ධියක් දුන් අතර සැනෙකෙලි හා ප්‍රදර්ශණ මඟින් ජනතාවගේ උද්යෝගය තබාගැනීමට කටයුතු කිරීම. (ප්‍රේමදාසගේ ගම්උදාව හා මහින්දගේ දැයටකිරුළ).
• තම පවුලේ දූ දරුවන් දේශපාලනයේ කොටස්කරුවන් බවට පත්කලේය. (ප්‍රේමදාස සජිත් තම දේශපාලනයට ගෙන ආවේය. මහින්ද නාමල් දේශපාලනයට ගෙන එමින් සිටියි. සජිත් වැඩ ඇරඹුවේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම පුරාවස්තු මංකොල්ල කමිනි. නාමල් වැඩ අල්ලන්නේ එමිල් කාන්තන් සමඟ ලන්ඩන් නුවර සිට ඡායාරූප වලට පෙනීසිටිමිනි.)
• ජනාධිපතිවරායා වීම වෙනුවට රජතුමා වීමට තැත්කිරීම. (ප්‍රේමදාස දිවුරුම් දුන්නේත් රජවරුන්ට උරුම පත්තිරිප්පුවේ සිටයි. මහින්ද රටටම කියා මහරජානෙනි කියා කියාගැනීමට තැත්කරයි. පත්තිරිප්පුවේ දිවුරුම් දීමට යනවා යැයි රාවයක් ද පවති.)
• බෞද්ධාගමට ඉතා ලැදිය. පන්සල සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කරයි. (ප්‍රේමදාස බුද්ධ ශාසන අමාත්‍යාංශයක් පවා ඇති කලේය. මහින්ද රටටම ආදර්ශමත් ලෙස බණ දහම් අසමින් බෞද්ධාගමට දිරිදෙයි.)
• තමාගේ රුව යෙදූ මුදල් භාවිතයට එක්කිරීම. (ප්‍රේමදාස රුපියල හා මහින්දගේ රුපියල් දහස)
• රාජ්‍ය මාධ්‍ය යොදාගෙන තමාට ස්ත්‍රෝත කියවා ගැනීම. (එදා රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයේ මුල් විනාඩි 10 වෙන්වූයේ ප්‍රේමදාස වෙනුවෙනි. අද අතොරක් නැතිව මහරජාට ගැයෙන ස්ත්‍රෝත විකාශනය වේ.)
• පෞද්ගලික ප්‍රතිරූපය ප්‍රතිපත්ති වලට ඉදිරියෙන් තැබීම. (ප්‍රේමදාස කිසිදු සැලසුම් සහගත ප්‍රතිපත්තියක් ඉදිරිපත් කලේ නැත. මහින්දට ජාතික ව්‍යාපාරයෙන් උරුම වුනු පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් තිබුනද අද එය පසෙකට කර පුද්ගලික ප්‍රතිරූපය පුම්බමින් සිටී.)


ඉදිරි ගමන් මඟ?
• දේශපාලන ඝාතන. (ප්‍රේමදාස තමාටගේ දේශපාලන ගමනට බාධාවෙතැයි සිතූ විජය කුමාරතුංග, ලලිත් ඇතුලත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව, උපාලි විජේවර්ධන වැනි අය ඝාතනය කලබවට සැකකරයි. මහින්දගේ ආණ්ඩුවෙන් මරණ තර්ජන ඇතිබව ජනරාල් ෆොන්සේකා, මංගල සමරවීර වැනි දේශපාලකයෝ පවසති. දැනටමත් ෆොන්සේකා පිටරටවල ආරක්ෂාව ඉල්ලා ඇත. ජ්‍යෙශ්ඨ දේශපාලකයන් වූ රනිල් ගේ නිවසත් කරු ජයසූරියගේ භාර්යාවගේ නිවසත් අනවශ්‍ය ලෙස සෝදිසි කිරීමට තැත්කලේය.)
• රාජ්‍ය මැර කල්ලි (ප්‍රේමදාස යුගයේ ක්‍රියාත්මක වූ ප්‍රා, කලු බලල්ලු වැනි කණ්ඩායම් මනුෂ්‍ය ඝාතන වල යෙදෙමින් රාජ්‍ය ත්‍රස්තවාදය වැපිරුවෝය. මහින්ද රාජ්‍ය මැර බලට යොදාගැනීම කරලියට පැමිණියේ ජනාධිපතිවරනය ප්‍රකාෂයට පත්වීමත් සමඟමයි. මැතිවරන කොමසාරිස් පවා මැර බලයට ලක්වූ බව විශ්වාස කෙරේ.)
• ඒකාධිපතිත්වය හේතුවෙන් ඉතා සුළු පිරිසක් හැර පක්ෂයේම බොහෝදෙනා ඔහු තනිකලේය. (අද එක්සත් ජනතා නිදහස් සංධානයේ බොහෝ මැති ඇමතිවරු පවා මහින්දගේ පවුල්වාදය නිසාවෙන් ඔහු ගැන කලකිරීමෙන් පසුවෙති.)
• අවසාන කාලයේදී නගරයක් නගරයක් ගානේ ඔරලෝසු කනු සාදමින් ගියේය. සමහර නායකයන්ගේ අවසාන කාලය ලඟාවන විට ඔවුන් ස්මාරක සෑදීමට යොමුවන බවට මතයක්ද ඇත.
• මහපාරේ අවාසනාවන්ත ලෙස මියගිය අතර ඔහු මියගියදා මහජනතාව රතිඤ්ඤා පත්තු කලේය.

මහින්ද රාජපක්ෂ යනු නිදහසෙන් පසු අපි බිහිකරගත් හොඳම හා දක්ෂකම නායකයායි. චන්ද ලක්ෂ 18කින් ඔහු දිනූ බව අප විශ්වාස නොකරතත්, මහජනතාව තුල ඔහුකෙරෙහි වූ විශිවාසය තවමත් සම්පූර්‍ණෙයෙන්ම බිඳි ගොස් නැත. ප්‍රේමදාස ගිය මඟ මහින්ද නොයනු ඇතැයිද තමා වටා සිටින තම පවුලේ ම කාපාලුවන්ට රට කන්ට නොදී මහින්ද චින්තනයේ සෙසු අරමුණු ඉටු කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි ද ඇත්තුඩුවගේ ප්‍රාර්ථනය හා විශ්වාසයයි. ප්‍රේමදාස ගිය මගෙහි ම ගොස් දේශපාලන ඉතිහාසයේ කලු පැල්ලමක් නොවී ලංකා ඉතිහාසයේ දිදුලන තරුවක් වීමට ඔහුට හැකිවේවා යි පතමි.

1 comment:

ඇත්තුඩුව said...

පසුගිය සතියේ තමන්ගේ දෙවැනි දිවුරුම් දීමටත්, උපන්දිනයටත් සමගාමීව මහින්ද පැල එකොලොස් ලක්ෂයක් සිටවීමට ක්‍රියා කලේය. දැනටම ඔහු ස්මාරක සෑදීම පටන් ගත් සැටියක් පෙනේ. කෙසේවුවත් ඔරලෝසු කනුවලට වඩා පැලයක් සිටවීම අගනේය.