Friday, November 05, 2010

අවදානම හා ආශ්චර්‍යය


දේශපාලන පක්ෂයක් හා සරසවි සිසුන් පිරිසක් ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට අර අඳින බවට බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇති බව කෙහෙලිය පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. සමූල ඝාතක අවි සොයා ඉරාකය ආක්‍රමණය කිරීමත්, ආණ්ඩු පෙරලීමට ක්‍රමන්ත්‍රණය කලේයැයි අඬබෙර ගසමින් බැටරි කෑලි ගනුදෙනුවකට ජනරාල් සිර කිරීමත් ඉහත ප්‍රකාශයත් අතර වැඩි වෙනසක් නැත. මීට දශක දෙක හමාරකට පෙර ජේ. ආර් වැඩ පටන්ගත්තේත් මෙලෙසමය. අපිට බිත්තියට හේත්තු කරගෙන ගහනකොට වෙන මොනව කරන්න ද කියා පසුව ජේවීපීය පැවසීය. අර්බුදය ඔඩුදිවූ පසු කුකුලා ද බිත්තරේ ද කියමින් තර්ක කිරීමෙන් පලක් නොවේ. කලයුත්තේ ඉතිහාසයෙන් පාඩමක් ඉගනගැනීමයි. කවදාහෝ ආණ්වෙන් මෙබඳු ප්‍රකාෂයක් කෙරෙන බව මට වැටහී ගියේ මහින්ද ජනාධ්පතිවරණය කොල්ලකාගත් දවසේදීමය. නමුත් එම ප්‍රකාෂය මෙතරම් ඉක්මන් වේ යැයි නොසිතුවෙමි. කවදත් වේගවත් ගමනක් යන ජනාධිපතිතුමාගේ වේගය අවතක්සේරු කිරීම මා අතින් සිදුවූ වරදකි. 


හිට්ලර් සම්බන්ධයෙන් ජර්මන් විද්වතෙක් කල ප්‍රකාෂයක් අද ලංකාවට උචිත ලෙස සකසා ගතහොත් එය මෙසේය, 


පළමුව උන් ත්‍රස්තවාදීන් සොයා ආහ - ත්‍රස්තවාදියෙකු නොවූ නිසා මා නිහඬව සිටියෙමි
දෙවනුව උන් ජාතිද්‍රෝහීන් සොයා ආහ - ජාතිද්‍රෝහියෙකු නොවූ නිසා මා නිහඬව සිටියෙමි
අනතරුව උන් කුමන්ත්‍රණකරුවන් සොයා ආහ - කුමන්ත්‍රනකරුවෙකු නොවූ නිසා මා නිහඬව සිටියෙම්
අවසානයේ උන් මා සොයා ආහ - නමුත් මා වෙනුවෙන් හඬ නඟන්නට කිසිවෙක් ඉතිරිව සිටියේ නැත


රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම පිළිබඳවත්, ඒ සඳහා ගතයුතු පියවර පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ව්‍යාපාරය විසින් පසුගියදා පවත්වන ලද සම්මන්ත්‍රණයකදී මහචාර්‍ය කුමා ඩේවිඩ් මහතා මෙවැන්නක් පැවසීය, "මම මේ සම්මන්ත්‍රණයට සහභාගි වූයේ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන්වත් වෙනත් කිසිවෙකු වෙනුවෙන්වත් නොව මගේ ආරක්ෂාව වෙනුවෙනි. මගේ ආරක්ෂාව සඳහා අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බැවිනි. එනිසා මා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමා‍ගේ ආරක්ෂාව වෙනුවෙන් අන් අයගේ ආරක්ෂාව සඳහාද පෙනී සිටින ලෙසයි". කුමා ඩේවිඩ් වැන්නෙකුට මෙම කාරණය වැටහුනත් ලංකාවේ සාමාන්‍ය ජනයාට මෙවැන්නක් වටහාගැනීමේ හැකියාවක් තිබේයැයි සිතිය නොහැකිය. මන්ද සාමාන්‍ය ජනතාවට ලැබෙනුයේ සාමාන්‍ය අධ්‍යාපනයකි, කියවන්නේ ආණ්ඩුවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කඩේ යන ජාතික යැයි කියාගන්නා සාමාන්‍ය පුවත්පත් ය, බලන්නේ සාමාන්‍යයෙන්  සිංදු තරඟ හා මෙගා ටෙලි නාට්‍ය පෙන්වන රූපවාහිණී නාලිකා ය, අසන්නේ ටාසන් බාප්පලාගේ කියුම් කෙරුම් හා සිංදුව මැදත් ඇඩ් එකක් දාන ගුවන්විදුලි නාලිකා යි. දේශපාලන දැනුම ගැන කියනවානම් ඔවුන්ට හැකියාව ඇත්තේ දෙපැත්තෙන් ලබාදෙන සුදුකොඩි, බඩු මිල ආදී සෙල්ලම් පිස්තෝල වලින් දුම්රියේ දී, වැඩපොලේ දී, කඩපොලේ දී එකිනෙකාට වෙඩිතබාගැනීම පමණි. සාමාන්‍ය ජනතාව දන්නා දේශපාලනයක්වත්, ආර්ථික විද්‍යාවක්වත් නැත. පාන් ගෙඩිය කීය වුනත්, ගෑස් සිලින්ඩරය කීය වුනත්, හම්බන්තොටට නැවක් ආවිට රට දියුණු වේයයි සිතීමට අම්බලන්තොට ම්නිස්සුන්ට හැකියාව ඇත්තේත්, කොළඹ පෝස්ටර් තහනම් කලත්, සරසවි සිසුන්ට පන්න පන්නා ගැහැවත්, බටහිර ක්‍රමන්ත්‍රණකාරයන්ගෙන් රට ආරක්ෂා වේනම් ප්‍රජාතන්ත්‍රවාදය මලත් මොකෝ යැයි සිතීමට හැක්කේත් ඉහත කී පරිදි සාමාන්‍ය ජනතාව සාමාන්‍ය වීම නිසායි.


පාලක පන්තිය සාමාන්‍යයෙන් සාමාන්‍ය නොවේ. මහින්ද තමා සාමාන්‍ය මිනිහෙකු බව සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කලත් ඔහු සාමාන්‍ය ජනතාවයේ වර්ගයේ එකෙකු නොවේ. ජේවීපීය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කරන පිරිසත් තමන් සාමාන්‍ය බව හැඟවීමට උත්සාහ කලත් ඔවුහු ද සාමාන්‍ය නොවෙති. මෙම නැගිටින පන්තියෙන් බිහිවන නායකයන් පසුකලෙක පාලක පන්තියට එක්වී නැගිටින පන්තියටම පන්න පන්නා ගහන්නේ අසාමාන්‍ය භාවය මෙම දෙපිරිසටම පොදු නිසායි. චම්පික ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු කරද්දී යූඑන්පී ශ්‍රී ලංකා දෙපාර්ශවයට ‍උගුරට එනකම් මිනී කෑ මිනී කාක්කන් ලෙස චෝදනා කලේය. උගුරට එනකම් මිනී නොකා තම පැවැත්ම තහවරු කරගන්නේ කෙසේද යන ගැටලුවට දැන් දැන් ඔහුත් මුහුණ පාන බව පෙනේ. පාලක පන්තියත් නැගිටින පන්තියත් අතර අද ඇතිවී තිබෙන ඝට්ටනය එක් අතකින් බලය පිළිබඳ ගැටලුවකි, තවත් අතකින් කන්න දුන්න අත සපාකෑ කලගුණ නොදත් මහින්දගේ සදාචාරය පිළිබඳ ගැටලුවකි. නමුත් මෙම ගැටලු දෙකම සාමාන්‍ය ජනතාවගේ ගැටලු නොවේ. නමුත් එම ඝට්ටනය තුල දෙපිරිස කුලල්කාගැනීමත්, පාලක පන්තිය මර්ධනය දියත් කිරීමත්, නැගිටින පන්තිය යුද්ධ ප්‍රකාෂකිරීමත් අතරතුර සාමානය්‍ය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම යන ගැටලුවට මුහුණ පෑමට සිදුවේ. ප්‍රජාතන්තුවාදය අහිමිවීමේ අර්බුධය ජීවිත අහිමිවීමේ අර්බුධයක් දක්වා ඔඩුදිවීම නතර කිරීමට නම් දෙපාර්ෂවයම යම් සංවර භාවයකින් ක්‍රියාකල යුතුව ඇත.    
 
අද අප කලයුත්තේ අසාමාන්‍ය පාලක පන්තියත්, අසාමාන්‍ය නැගිටින පන්තියත් අතර යම් සංහිඳියාවක් ඇතිකරගැනීමයි. බැලුවොත් රැව්වා, රැව්වොත් ගැහුවා, ගැහුවොත් මැරුවා යනාදී වශයෙන් දැනට තිබෙන ආතතිය එන්න එන්නම වැඩි කරගැනීමට දෙපැත්තම ක්‍රියාකරන බවක් පෙනේ. විශේෂයෙන් ම ආණ්ඩුව ඉතා දිගු පියවර තබමින් විරුද්ධවාදීන් මර්ධනය කිරීමට කටයුතු කරන ආකාරයක් පෙනීයයි. මෙහිදී ගොඨාභය මතක තබාගතයුතු දෙයක් නම් ත්‍රස්සවාදීන්ට දුන් එන්නත සර්ව රෝග නිවාරණයට යොදා ගත නොහැකි බවයි. ‍ජේ. ආර් බලයට එනවිට රටේ කිසිදු මහා පරිමාණ අර්බුදයක් තිබුනේ නැත. ආසියාවේ හොඳම මොළකාරයා යැයි කියාගත්තත් ඔහු පැන්ෂන් යන විට උතුරේත් දකුනේත් මහා අ‍ර්බුධ දෙකක් නිර්මාණය කර දී තිබුණි. මහින්දගේ ආසියාවේ ආශ්චර්‍යය සිහිනය මෙන් ලංකාව තුල සමාජ ආර්ථික හා දේශපාලන විපර්‍යාසයක් කිරීමෙන් ලංකාව සිංගප්පූරුවක් කිරීමට ජේ. ආර්. සිහින මැවීය. නමුත් තමාගේ ගමනට බාධාකරන සැමෝම ද්‍රෝහීන් ලෙස සලකා ගින්නෙන් යකඩෙන් තලාදමා හෝ තම ගමන යෑමට ක්‍රියාකිරීමේ වන්දිය ගෙවන්නට සිදුවූයේ උතුරේත් දකුණේත් ලක්ෂ ගනන් සාමාන්‍ය ජනතාවගේ ලේ වලිනි. ජේ. ආර්. ට තමන්ගේ සිහිනය සැලකිය යුතු පමණට සැබෑ කරගැනීමට හැකිවිය. මහින්දටත් යම් වෙනසක් ඇතිකිරීමට හැකියාවක් ඇත. නමුත් ගමන පටන්ගන්නා ආකාරයෙන් වන්දියේ තරම අපි වටහා ගත යුතුව ඇත. 


‍‍ඓතිහාසික වශයෙන් වසර දහස් ගනනක් පුරා මේ රටේ සාමාන්‍ය ජනතාව ට අසාධාරණයට විරුද්ධවත්, රට ජාතිය ආගම වෙනුවෙනුත් නැඟිටීමේ පුරුද්දක් ඇත. එසේ නැගිටින්නෝ ජේවීපී කාරයෝ ලෙස ලඝු කල නොහැක. කැළණියේ අන්තරේට විරුද්ධව සරසවි සිසුන්ගේ ඊනියා දෙමාපියන් ලවා මර්වින් පැවැත්වූ උද්ඝෝෂණයේ දී සිදු කිරීමට උත්සාහ කලේ එයයි. මෙම ඓතිහාසික වරද ජේ. ආර් අතිනුත් සිදුවිය. නැගිටින පන්තිය නැගිටීමට නායකත්වය දෙන‍්නේ කවුරු වුනත් ඔවුන් සමඟ එක්ව නැගිටිති. ත්‍රස්තවාදයට එරෙහිව මහින්ද සමඟ එක්ව නැඟීසිටි ජනතාවම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අද ජේවීපී එක සමඟ නැගිටිති. හෙට ඔවුන් වෙනත් කෙනෙක් සමඟ වෙනත් දෙයක් උදෙසා නැගී සිටිනු ඇත. 


නැගිටන පන්තියට නැගිටීම හැර වෙනත් විකල්පයක් නැත. නමුත් පාලක පන්තියට මර්ධනය හැර වෙනත් විකල්ප ඇත.

No comments: