Sunday, January 31, 2010

ඔප්පුකර පෙන්වන්න


ජනපතිවරණ ප්‍රචාරක සටනේ ප්‍රධාන සටන්පාඨයක් වූයේ හොරකමයි. කවුද හොරා කියා පෙන්වීමට දෙපැත්තේ ම උදවිය නොගත් තැතක් නැත. කැරැල්ලේ දරුවෝ බටලන්දේ උදවිය හා එක්ව එකම වේදිකාවලට නගිමින් මහින්ද හොරා යැයි කියද්දී ජාතික ව්‍යාපාරයේ රිදී සීනුව වූ විමල්, ප්‍රා දොස්තරලා සමඟ රූපවාහිනියට පැමිණියේ ජනරාල් හොරා බව ඔප්පුකිරීමට යි. ජනතාව හොරකම ගැන මෙලෝ හසරක් දන්නේ නැති නමුත් ඔවුන් හොරකමට ඉතා සංවේදී බව දෙපැත්තේම ඇත්තෝ දනිති. දේශපාලන වේදිකාවල කතාකරන ආකාරයේ සිල්ලර මට්ටමින් හොරකම් සිදු නොකෙරේ. තවමත් මහින්ද විශ්වාස කරන බොහෝ දෙනෙක් බැසිල් හොරකම් කරන්නේ නම් ඔප්පුකරන්නේ නැත්තේ ඇයිදැයි අසති. එවන් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා හොරකම් කරන්නේ කෙසේදැයි මෙසේ ලියා දක්වමි. මේවා ඔප්පුකරන්නට හැකි ක්‍රමවේදයන් ඔබ දන්නේ නම් ඒවා මට පැවසීමට මහන්සි නොවී එක්සත් ජනපදයේ දූෂණ මර්ධන ආයතවලට පවසන ලෙස ඉල්ලා සිටිමි. මන්ද මෙම හොරකම් කිරීමේ ක්‍රම මැඩලන්නේ කෙසේද යන්න පිලිබඳව නිෂ්චිත උපක්‍රම තවමත් ඔවුන් සතුව ද නැති බැවිනි.

සැබෑවටම හොර සල්ලි යනු මොනවාද? වංචාවෙන් උපයන ලද හෝ නීත්‍යානුකූල නොවන ලෙස සංසරණය කරන ලද හෝ නීත්‍යානුකූල නොවන ලෙස යොදවනු ලබන මුදල් හොර සල්ලි ලෙස හඳුන්වයි. හොර සල්ලි ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එනම්, අපරාධ මගින් උපයන ලද මුදල් (මත්ද්‍රව්‍ය වෙළඳාම, ගණිකා වෘත්තිය ආදිය), දූෂණය මගින් උපයන ලද මුදල් (රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයින්), හා නීත්‍යානුකූල නොවන ආකාරයේ ව්‍යාපාරික ගනුදෙනු මගින් උපයන ලද මුදල් (බදු මඟහැරීම්, බදු වංචා ආදිය) වශයෙනි. හොර සල්ලි උපයා ගැනීමේ ක්‍රම ඉතා විශාල ප්‍රමාණයක් ඇති අතර ඉන් බොහෝමයන් නීතියේ දැලට කිසිසේත් අසුකරගත නොහැක. හොර සල්ලි ජාවාරම සඳහා උදව් වන ක්‍රම අතර ප්‍රමුඛ වන්නේ, වංචාසහගත තක්සේරුකිරීම්. රූකඩ කොම්පැණි (dummy corporations), බොරු ලියකියවිලි, බදු අවම ආර්ථිකයන් (tax havens), ආරක්ෂිත අධිකරණකලාප, ෂෙල් බැංකු, හා වංචාසහගත ඉලෙක්ට්‍රොනික මුදල් මාරුකිරීම් යනාදිය යි. මීට අමතරව වංචාවේ ස්වභාවය හා අදාල කර්මාන්තයට අනුව යොදාගත හැකි තවත් සූක්ෂම ක්‍රමවේද ගනනාවක් ඇත. සංකීර්ණ ක්‍රම ටිකකට අමතක කර ඔලුව ඇතුලේ මදටිය ඇටයක් හෝ මොලයක් ඇති කෙනෙකුට පවා තේරෙන ක්‍රම කිහිපයක් පමණක් ටිකක් විස්තරාත්වකව සලකා බලමු. එසේම අපරාධ මගින් හා සූක්ෂම ව්‍යාපාරික ගනුදෙනු මගින් කරන හොර සල්ලි ජාවාරම අමතක කොට දේශපාලකයන් ගේ වැඩ සහ කිඩ වලට පමණක් අවධානය යොමුකරමු.

කලුසල්ලි වල ප්‍රධානතම උල්පත වන්නේ වංචාසහගත තක්සේරුකිරීම් ය. මෙය ක්‍රම හතරකට සිදුකිරීමට හැකිය. එනම් භාණ්ඩ හා සේවා ආනයනයේදී අධිතක්සේරුකිරීම/අවතක්සේරුකිරීම හා අපනයනයේදී අධිතක්සේරුකිරීම/අවතක්සේරුකිරීම වශයෙනි. උදාහරණයක් වශයෙන් ආනයනයේදී අධිතක්සේරු කරන්නේ කෙසේදැයි බලමු. රජය මඟින් යම් සංවර්ධන ක්‍රියාවලියක් හෝ යම් භාණ්ඩ ඇණවුමක් සඳහා (වරායක් ඉදිකිරීම, විදුලි බලාගාරයක් ඉදිකිරීම, ප්‍රහාරක ජෙට් යානා ගෙන්වීම ආදී වශයෙන්) පිටරට ආයතනයකට කොන්ත්‍රාත්තුවත් බාරදෙන්නේ යැයි සිතමු. මෙම කොන්ත්‍රාත්තුවෙන් මුදල් ගැසීමට ගැසිල් කියා තැනැත්තෙක් සැලසුම් කරනවා යැයි සිතමු. එය සඳහා යන වියදම කෝටි දසදහසක් නම් ගැසිල් මුලින්ම කරන්නේ සමාගම් සමඟ සාකච්චා කොට කොන්ත්‍රාත්තුවේ වටිනාකම කෝටි දොලොස්දහසක් ලෙස අධිතක්සේරු කිරීමයි. කෝටි දසදහසක් වූ නියම වටිනාකම අදාල සමාගම ලබාගන්නා අතර ඉතිරි කෝටි දෙදහස ගැසිල්ගේ පිටරට ගිනුමකට යැවීමට සමාගම එකඟ කරවා ගනී. සමාගම පැත්තෙන් බැලූකල සමාගමට අවශ්‍ය නිවැරදි මුදල වන කෝටි දසදහස සමාගමට ලැබෙන නිසා සමාගම පැත්තෙන් මෙයට මනා සහයෝගයක් ලැබේ. එසේ නොවුනොත් කොන්ත්‍රාත්තුව වෙනත් සමාගමකට යන බව දන්නා තුන්වන ලෝකයේ දූෂිත පාලකයන් සමඟ ගණුදෙණු කරන බොහෝ සමාගම් වලට මෙම ක්‍රමය අලුත් දෙයක් නොවේ. මෙම ගණුදෙණුව මෙරට නීතියට සියයට සියයක් එකඟ අතර එහි කිසිදු වංචාවක් හෝ වරදක් ඇතිබව ඔප්පු කල නොහැක. නමුත් අදාල සමාගමට කෝටි දෙදහසක් කිසිදු හේතුවක් නැතිව පුද්ගලික ගිණුමකට බැරකිරීමට නොහැක. එනිසා ඒ සඳහා සමාගම හා ගැසිල් තවත් ක්‍රම කිහිපයක් අනුගමනය කරයි. ඉතාමත් පහසු ක්‍රමය නම් යම් සේවාවක් සැපයූ බව (තාක්ෂණික වාර්ථාවක් පිලියෙල කිරීම, ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, මූල්‍ය සමීක්ෂණයක් සිදුකිරීම ආදී) පවසමින් ගැසිල් විසින් නියම කරන තවත් සමාගමකට එම ගෙවීම සිදුකිරීමයි. එම සේවාව ලබාගත් බවට සාක්ෂියක් ලෙස මෙම දෙවන සමාගම විසින් පිටු හතරක පමණ වාර්තාවක් මුල් සමාගමට සපයයි. දැන් සියලු ගනුදෙනු සමිපූර්ණ අතර කිසිදු වංචාවක් හෝ දූෂනයක් නීතියට පිටින් සිදුවී නොමැත. ඊළඟ ගැටලුව කෝටි දෙදහස ලබාගත් සමාගම කාගේද යන්නයි. එම සමාගමේ අයිතිය ගැසිල්ගේ වුවද නීත්‍යානුකූලව කිසිදු ගැටලුවක් නැත. නමුත් එතැන යම් කොස්සක් ඇති නිසා ගැසිල් අනුගමනය කරන්නේ මෙවන් ක්‍රියාමාර්ගයකි. සියල්ලට ප්‍රථම ඔහු ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගමක් (international business corporation) පිහිටුවයි. ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගමක් යනු කුමක්දැයි දැනගැනීමට අදාල එය පිළිබඳ වූ විකිපීඩියා පිටුවේ සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරන්නෙමි. (http://en.wikipedia.org/wiki/International_business_company )

(international business corporation යනු යම්කිසි අධිකරන බල ප්‍රදේශයක නීතියට යටත්ව එම අධිකරණ බල ප්‍රදේශය තුල ව්‍යාපාරික කටයුතු කිරීමට නොහැකි වන ආකාරයෙන් පිහිටුවන ලද බදු වලින් නිදහස් අක්වෙරළ සමාගමකි. මෙවැනි සමාගම් පිහිටුවිය හැකි රටවල් වලින් කිහිපයක් නම්, ඇන්ටිගුවා, ඇන්ගෝලා, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, බහමාස්, ජිබ්‍රෝල්ටා, නෙවිස්, හා සීසෙල්ෂ් ය. මෙබඳු සමාගම් වල ව්‍යුහයන් හා ස්වරූපයන් රටින් රටට වෙනස් වුවත් එවායේ පහත සඳහන් පොදු ලක්ෂණ දක්නට හැක.
1 දේශීය බදුවලින් සම්පූර්‍ණෙයන් ම නිදහස් වේ.
2 සමාගමේ අයිතිය හා කොටස්කරුවන් පිළිබඳව සම්පූර්‍ණ රහස්‍යභාවය ආරක්ෂා කරයි.
3 විවිධාකාරයේ ව්‍යාපාරික ගණුදෙණු කිරීමට පුලුල් බලතල සමූහයක් පවරා දී ඇත.
4 සමාගමේ ලාබ අලාබ ප්‍රකාෂකිරීමට ඇති බලපෑම් වලින් නිදහස් ය.
5 ...)

රුපියල් ලක්ෂ කිහිපයක් ලබාගෙන ඔබ වෙනුවෙන් මෙබඳු සමාගමක් පිහිටුවීමට රටවල් 60ක පමණ නිතී ආයතන බොහෝමයක් සැදී පැහැදී සිටී. ඊමේල් කිහිපයකින් හා ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු කිහිපයකින් මෙය ඉතා පහසුවෙන් කරගත හැක. කිසිසේත්ම ඔබ අදාල සමාගම පිහිට රටට පා තැබීමට අවශ්‍ය නොවේ. අදාල කෝටි දෙදහසක මුදල ගැසිල්ගේ අක්වෙරළ සමාගමේ ගිණුමට බැරවූ පසු සියල්ල සම්පූර්‍ණ වේ. කිසිදු වංචාවක් සිදු කෙරී නැති අතර එබන්ඳක් සිදුවූ බව ඔප්පු කිරීමට තබා ඉහත අක්වෙරළ සමාගම හා ගැසිල් අතර කිසිදු සම්බන්ධයක් ඇතිබව තහවරු කිරීමටද හැකියාවක් නැත. මෙබඳූ මූල්‍ය වංචා වලට උදව් දෙන්නේ දකුණු ඇමෙරිකාවේ, අප්‍රිකාවේ හෝ කැරිබියන් වල කුප්‍රකට රටවල් පමණක් බව සමහර විට ඔබ සිතනු ඇති. 1992 දී පමණ මෙක්සිකෝවේ ජනාධිපතියේ සහෝදරයා වූ රවුල් සැලිනාස් වංචාවෙන් හා දූෂණයෙන් ඉපයූ ඩොලර් කෝටි ගණනක මුදල් ගිනුමක බැරකිරීමටත් එම මුදල් රටින් රටට සංක්‍රමණය කරවීමටත් උදව් කලේ අන්කිසිවෙක් නොව ලෝ ප්‍රකට ඇමෙරිකන බැංකුවක් වන සිටි බැංකුවයි. 1995දී මිනීමැරුමකට සැකපිට සැලිනාස් අත්අඩංගුවට ගැනීම නිසා සියලු තොරතුරු හෙලිවිය. එසේ නොවන්නට මෙය තවත් එක් සහෝදර වික්‍රමයක් පමණක් වන්නට ඉඩ තිබුනි. එනිසා ජනාධ්පතිවරුන් හා ඔවුන්ගේ සහෝදර මට්ටමට ලඟාවන විට අක්වෙරළ සමාගම් පවත්වාගෙන යනවාට අමතරව ලොව ප්‍රමුඛ බැංකු වලට කලු සල්ලි පොම්ප කිරීමේ හැකියාවද ලැබෙන බව පැහැදිලිය. සිටි බැංකුව සියලු තැන්පතු ගබඩාකලේ සැලිනාස්ගේ නමින් නොව ඔහුට අයිති අක්වෙරල ෂෙල් සමාගමක් වෙනුවෙනි. (http://en.wikipedia.org/wiki/Shell_corporation)

ඉහත සඳහන් කලේ වංචාසහගත ලෙස ආනයනයේදී අධිතක්සේරුකිරීම මගින් කලු සල්ලි ගරන ආකාරය පමණි. අනෙකුත් ක්‍රම තුන භාවිතයෙන් ද මෙලෙස කලු සල්ලි තමන්ගේ පිටරට ගිණුම් වලට බැරකිරීමට යොදාගත හැකි සූක්ෂම ක්‍රම ගනනාවක් ඇත. මේ සියල්ල තක්සේරුවේදී වංචාකිරීම් පමණි. ඊට අමතරව නිවැරදි තක්සේරුකිරීම් තුලින් පවා අතිවිශාල වංචා කලහැකි ක්‍රම ගණනාවක් ඇත. හෙජිං වංචා ආදී පොතේවත් නැති නවීණ වංචා ක්‍රම ද දැන් දැන් කරලියට එමින් පවතී. ගැසිල්ලාගේ ගැසිලි ගැන පොතක් වුවත් ලියා ඉවරකරන්නට තරම් කරුණු තිබේ. නමුත් ඉහත උදාහරණයෙන් ඔබ යම් දෙයක් අලුතෙන් තේරුම්ගත්තා නම් ඒ මත පදනම් වී තවදුරටත් සොයාබලා නිවැරදි දේ වටහාගැනීමට ඔබට ම හැකියාව ඇත. හොරකම යනු දේශපාලන වේදිකාවේ කතාකරන තරම් සිල්ලර දෙයක් නොවන බවත් එය ඔප්පු කර පෙන්වන සේ තර්ක කිරීම විහිළුවක් බවත් ඔබ තේරුම් ගත්තා නම් මෙම ලිපියේ අරමුණු ඉටුවුනා වේ. ලංකාවේ සෑම ආණ්ඩුවක ම ගැසිල්ලා සිටියහ. සංවර්ධනයෙන් ගසාකෑම පසුව ගසාකෑම සඳහා සංවර්ධනය ලෙස වෙනස් වූ අතර අද ගසාකෑම පුද්ගලන් කිහිපදෙනෙකුගේ අතට කේන්ද්‍රෙවමින් ඇත. රුපියල් කෝටි 3ක් වැනි සුලු මුදලක් වූ ජනරාල්ගේ සමස්ත අයවැයට යටත්ව ගෙන ආ බැටරි, දුරදක්න, හා ජෙනරේටර් තොගයක් සම්බන්ධ ගණුදෙණුවන් ගැන කියමින් රටම ගිනිතබන්නට කටයුතු කල විමල් වීරවංශ අප සඳහන් කල දූෂණ ක්‍රමවේදයන් පිළිබඳව හෝ ඒවාට අනුව රටේ සිදුවන මහාපරිමාණ වංචා හා දූෂණ පිළිබඳ නොදන්නේ යැයි ඔබ සිතන්නේද?

ලංකාවේ දූෂණ වංචා ඕනෑතරම් සිදුවූ බවද සිදුවෙම්න් පවතින බවද සියල්ලෝම පිලිගනිති. නමුත් එදා මෙදා තුර වංචාවක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් වරදකරුවූ එක් දේශපාලකයෙක් හෝ නොමැත. එසේනම් නමුත් වංචා දූෂණ ඔප්පු කර පෙන්වන ලෙස ඹබ අන් අයට අභියෝග කරන්නේ ඇයි. ගෝත්‍රික දේශපාලනයෙන් හා යුධ ජයග්‍රහණයෙන් අන්ධ කරවූ දෑස් හැර යථාර්තයට මුහුන දෙමු. දේශපාලකයන්, ඔවුන්ගේ සහෝදරවරු හා හෙන්චයියන් තවත් චිරාත් කාලයක් මැතිවරණ ප්‍රතිථල වංචා කර බලයේ සිටිමින්, දූෂණයෙන් ජනතා මුදල් තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමි වලට පොම්පකිරීම සිදුකිරීම අනිවාර්‍යය ය. දූෂණයට පිලියම තවත් දූෂිතයෙක් අතට බලය මාරු කිරීම නොවෙතත් දූෂිතයා දූෂිතයැයි නොපිලිගැනීම දූෂණයට උඩගෙඩි දීමකි.

ඔබට තවදුරටත් කලු සල්ලි ගැරීම ගැන දැනගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් පොත කියවන්න. Capitalishm's Achilles Heel, Dirty Money and How to Renew the Free-Market System by Raymond W. Baker. (ඔබට මෙම යොමුව ඔස්සේ මෙම පොතේ සමහර කොටස් පරිශීලනය කල හැක. 25 පිටේ සිට 47 පිටුව දක්වා කියවන්න. http://books.google.co.in/books?id=Wkd0--M6p_oC&dq=Capitalism%27s+Achilles+Heel&printsec=frontcover&source=bn&hl=en&ei=2nVmS47yPIyA7QPAnLQe&sa=X&oi=book_result&ct=result&resnum=4&ved=0CBMQ6AEwAw#v=onepage&q=&f=false)

ඔබ වටා ඇති වාසිදායක තත්වයන් ප්‍රයෝජනයට ගනිමින් කලුසල්ලි ගරන්නේ කෙසේද යන්න ගැන විශේසඥ්ඥ උපදෙස් ලබාගැනීමට ඇත්තුඩුවට පෞද්ගලිකව ලියන්න (100% ප්‍රතිථල සහතිකයි. 4% කොමිස් අයකෙරේ).

සුබ අනාගතයක්!

1 comment:

චතුර විජේකෝන් said...

ස්තුතියි, දැනුවත් කිරීමට.. ඒත් මක් කොරන්නද? ඔප්පු කොරන්න බෑ නේන්නම්...